
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඇතුළු දකුණු, අග්නිදිග ආසියාතික රටවල තොරතුරු, ආගමික, වෙදකම, ජ්‍යොතිෂ සහ ඉතිහාසය ලේඛන ගතකර තැබීම සඳහා භාවිත කර ඇති සුවිශේෂී මාධ්‍ය පුස්කොළ මත ලිවීම ය. මෙරට සංස්කෘතිය සහ බෞද්ධ ඉතිහාස තොරතුරු සුරක්ෂිතව ගබඩා කර තැබීමට පුස්කොළ පොත්වලින් ලැබුණු දායකත්වය සුවිශේෂී ය. එහෙත් ඉතිහාසයේ විටින්විට ඇති වූ විදෙස් ආක්‍රමණ, ස්වාභාවික ව්‍යසන ආදී විවිධ හේතු මත මෙරට පුස්කොළ ලේඛන වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. නමුදු මෙරට සහ විදේශීය රටවල කෞතුකාගාරවල, රාජ්‍ය ආයතනවල, විහාරස්ථානවල, පුද්ගලික තැන්පතුවල විශාල පුස්කොළ ලේඛන ප්‍රමාණයක් අදට ද සුරක්ෂිතව පවතින බව පර්යේෂණ තුළින් හඳුනාගෙන ඇත. පර්යේෂණයට බඳුන් නොකරන ලද අප්‍රකටව පවතින ලේඛන ද විශාල ප්‍රමාණයක් ඇති බව විද්වත් අදහස ය.
පාණදුරාවාදයේ 150 වන සැමරුම් වර්ෂයට සමගාමීව මෙරට විවිධ සිද්ධස්ථානවල ශේෂ වී ඇති පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තාක්ෂණික දායකත්වයෙන් ආරම්භ කරන ලද එම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට සිද්ධස්ථාන 14ක පමණ පුස්කොළ පොත් සංරක්ෂණය කොට අවසාන ය. දොඩන්දූව කුමාරකන්ද කුමාර මහා විහාරයේ සුරක්ෂිත පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු 2024 වර්ෂයේ මාර්තු මස 30 වැනිදා ආරම්භ කොට එම වර්ෂයේ අගෝස්තු මස 19 වැනිදා එම විහාරස්ථානයට පූජා කිරීම සිදු කළ බව දොඩන්දූව කුමාරකන්ද කුමාර මහා විහාරයේ විහාරාධිපති, ගාලු උප ප්‍රධාන සංඝනායක, ගන්තලාවේ ශ්‍රී ගුණානන්ද නායක හාමුදුරුවෝ අප සමග පැවසූහ.
මෙරට දුර්ලභ ගණයේ පොත්පත් රාශියක් මෙන්ම, දුර්ලභ අත්ලිපි රාශියක් ආරක්ෂිතව තිබෙන කුමාර මහා විහාරයේ ‘ශ්‍රී සීලස්කන්ධ විමර්ශන පුස්තකාලය දොඩන්දූව ශෛලබිම්බාරාමාධිපතිව වැඩ විසූ ‘සීලස්කන්ධ ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක මාහිමියන් වහන්සේ සතු වූවකි. උන්වහන්සේගේ පශ්චිම උපස්ථායක වූ පණ්ඩිතාචාර්ය මහනුවර තැන්නෙකුඹුරේ ශ්‍රී සොණුත්තර මාහිමියන් වහන්සේට පරිත්‍යාග කර ඇති අතර පසුව උන්වහන්සේ එම පොත්පත් කුමාරකන්ද කුමාර මහා විහාරයට රැගෙනවිත් ඇත. පොත්පත්, ලිපි, ලේඛන ආදිය ගැල් දොළොසක රැගෙන ආ බව ජනප්‍රවාදයේ ද කියැවේ. ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය ආදියෙහි අන්තර්ගතය ඇතුළත් මුද්‍රණය කරන ලද පොත්, අත් පිටපත් සහ පුස්කොළ පොත් නාමාවලියක් එම පුස්තකාලය සතු ය. 2002 වර්ෂයේ දිනක දොඩන්දූව කුමාරකන්ද කුමාර මහා විහාරයේ පුස්තකාලයේ දොරගුළු කඩා පුස්කොළ පොත් එකසියවිසි ගණනක් හොරු රැගෙන ගොස් තිබිණි. සොරාගත් පුස්කොළ පොත් සුළු ප්‍රමාණයක් පසුව ලැබී තිබිණි. වැඩි සංඛ්‍යාවක් නොලැබුණු බව ද වාර්තා වේ.
පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ දොඩන්දූව කුමාරකන්ද කුමාර මහා විහාරයේ පුස්කොළ පොත් 550ක් සංරක්ෂණය කර තිබේ. එම සංරක්ෂණ පුස්කොළ පොත් අතර මීගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සාමණේර අවධියේ රචිත කච්චායන – මොග්ගල්ලාන පාලි ව්‍යාකරණ සමුච්චය පිළිබඳ පුස්කොළ පොතක් සහ වසර 600ක් පැරණි ‘කවිමිණි නාමාවලිය’ නම් කාව්‍ය සංග්‍රහයක් මෙන්ම පාණදුරාවාදයට සමකාලීනව රචිත පොත් රාශියක් හමුවීම විශේෂත්වයකි. සංරක්ෂිත පුස්කොළ පොත් සුරක්ෂිතව ගබඩා කර තැබීම සඳහා ආරක්ෂිත පොත් අල්මාරියක් ද බෞද්ධාලෝක පදනම විසින් පරිත්‍යාග කර තිබේ. රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වියදම් කර පරිත්‍යාග කරන ලද විශේෂ පොත් අල්මාරියක් මෙන්ම පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු සඳහා බෞද්ධාලෝක පදනම විසින් විශාල මුදලක් වියදම් කර ඇති බව ද වාර්තා වේ. එමෙන්ම ඓතිහාසික දොඩන්දූව ශෛලබිම්බාරාම විහාරාධිපති දෙව්රම්වෙහෙර මේධාලංකාර හාමුදුරුවන්ගේ ඉල්ලීමකට අනුව බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තාක්ෂණික දායකත්වයෙන් එම විහාරස්ථානයේ සුරක්ෂිත පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වැනිදා ආරම්භ කොට 2025 වර්ෂයේ මාර්තු 21 වැනිදා අවසාන කර එම මස 27 වැනිදා විහාරස්ථානයට පූජා කොට ඇත. සංරක්ෂිත පුස්කොළ පොත් 268ක් සුරක්ෂිතව ගබඩා කර තැබීමට ආරක්ෂිත පොත් අල්මාරියක් ද බෞද්ධාලෝක පදනම විසින් පරිත්‍යාග කර තිබේ. එමෙන්ම සියලු සංරක්ෂණ කටයුතු තම අනුදැනුම මත සිදු වූ බව දෙව්රම්වෙහෙර මේධාලංකාර හාමුදුරුවෝ අප සමග පැවසූහ. එකදු පුස්කොළ පොතක්, කිසිදු ලේඛනයක් පිටට ගෙන යෑමට නොදුන් බව ද උන්වහන්සේ විශ්වාසයෙන් තහවුරු කළහ.

“මේ පුස්තකාලයේ ගොඩක්ම තියෙන්නේ එක්දහස් අටසිය ගණන්වල පොත්පත්, ලිපි ලේඛන. ඒ අතර තියෙන විශේෂම ලේඛනය 1808 වර්ෂයේ දී කතලුවේ ගුණරතනතිස්ස මහානායක හිමි දොඩන්දූව වරායෙන් බුරුම දේශයට වැඩම කර එරට දී උපසම්පදාව ලබාගත් බවට ‘බුරුම පාලි භාෂාවෙන්’ ලබා දීලා තියෙන ලිඛිත සංදේශය. ඒ සංදේශය පිටු පහකින් සමන්විතයි. බුරුම දේශයෙන් උපසම්පදාව ලැබුණු බවට තියෙන පැරණිතම ලිඛිත ලියවිල්ල ඒක තමයි. ඒ වගේම බුරුම රටට යවපු ලේඛන සහ බුරුමයෙන් මෙරටට එවපු ලේඛන කිහිපයක් තියෙනවා. පාණදුරාවාදය සම්බන්ධයෙන් ලියවුණු අත් ලිපි රාශියක් තියෙනවා. මීගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ අත් ලිපි කිහිපයක් තියෙනවා. මේ වනවිට සංරක්ෂිත පුස්කොළ පොත් 300 ක් විතර තියෙනවා. ගොඩක්ම තියෙන්නේ ඓතිහාසික තොරතුරු ඇතුළත් ලිපි ලේඛන…” කෙටි දෙසුමකින් පසු දෙව්රම්වෙහෙර මේධාලංකාර හාමුදුරුවෝ ද නිහඬ වූහ.
ගාල්ල ශ්‍රී පරමානන්ද රාජමහා විහාරයේ සුරක්ෂිත පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු 2024 වර්ෂයේ නොවැම්බර් මස 20 වැනිදා ආරම්භ කොට 2025 වර්ෂයේ මැයි මස 30 වැනිදා අවසාන කොට එම වර්ෂයේ අගෝස්තු මස 08 වැනිදා බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ සුරතින් පුස්කොළ පොත් 346ක් ගාල්ල ශ්‍රී පරමානන්ද රාජමහා විහාරස්ථානයට භාර දී ඇත. ගාල්ල පරම වික්‍රමානන්ද මහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති වලතර සෝභිත නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව 2024 වර්ෂයේ නොවැම්බර් මස 20 වැනිදා එම විහාරස්ථානයේ ද සුරක්ෂිත පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු ආරම්භ කොට 2025 වර්ෂයේ මැයි මස 30 වැනිදා අවසාන කොට එම වර්ෂයේ ම අගෝස්තු මස 08 වැනිදා පුස්කොළ පොත් 196ක් ගාල්ල පරම වික්‍රමානන්ද මහා විහාරස්ථානයට භාර දී ඇත. වාද්දුව, දළදාවත්ත පුරාණ මහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති, තල්පිටියේ චන්ද්‍රරතන නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමකට අනුව විහාරස්ථානයේ සුරක්ෂිත පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු 2025 වර්ෂයේ ජූලි මස 30 වැනිදා ආරම්භ කොට ඇත. මාසයක් වැනි කෙටි කාලයකින් සංරක්ෂණ කටයුතු අවසාන කොට එම වර්ෂයේ සැප්තැම්බර් මස 09 වැනිදා පුස්කොළ පොත් 55ක් විහාරස්ථානයට පූජා කිරීමට බෞද්ධාලෝක පදනම සමත් වී ඇත.
පාණදුර, පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර පිරිවෙනෙහි පරිවෙණාධිපති තෙරුන්නාන්සේගම නන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු 2025 වර්ෂයේ ජූලි මස 01 වැනිදා ආරම්භ කොට එම වර්ෂයේ ඔක්තෝබර් මස 01 වැනිදා අවසානකොට 2026 වර්ෂයේ ජනවාරි 06 වැනිදා පුස්කොළ පොත් 306ක් එම විහාරස්ථානයට පූජා කර ඇත. පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූලමහා විහාරයෙහි විහාරාධිපති නැහින්නේ සද්ධානන්ද නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ සුරක්ෂිත පුස්කොළ පොත් 341ක සංරක්ෂණ කටයුතු 2025 වර්ෂයේ ඔක්තෝබර් මස 29 වැනිදා ආරම්භ කොට 2026 වර්ෂයේ ජනවාරි 10 වැනිදා අවසානකොට එම මස 29 වැනිදා සම්බුද්ධ ශාසනයට පූජා කර ඇත. එම සංරක්ෂණ කටයුතු අතරතුර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සහ මියන්මාර් රාමඤ්ඤ මහා නිකාය යන ද්විපාර්ශ්වයට ම අතිශය වැදගත් පුස්කොළ පොතක් අනාවරණය කරගැනීමට හැකිවීම විශේෂත්වයකි. එමෙන්ම රත්මලානේ පරම ධම්මචේතිය මහා පිරිවෙනෙහි විහාරාධිපති ආචාර්ය මාදුටුගම විමලසාර නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ සුරක්ෂිත පුස්කොළ පොත් 385ක සංරක්ෂණ කටයුතු 2025 වර්ෂයේ අගෝස්තු මස 22 වැනිදා ආරම්භ කොට 2026 වර්ෂයේ අප්‍රේල් මස 20 වැනිදා අවසාන කොට එම වර්ෂයේ මැයි මස 30 වැනිදා විහාරස්ථානයට පූජා කොට ඇත. උතුරු කළුතර පුලිනතලාරාම මහා විහාරය, මල්වතු මහා විහාරීය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ කෞතුකාගාරය, ගිංතොට ශ්‍රී තුපාරාම රාජමහා විහාරය, ගොරකාන පුරාණ කන්දේ විහාරය, මොරටුව තපෝදාරාම මූලමහා විහාරය, දඩල්ල ශ්‍රී වාලුකාරාම මූලමහා විහාරය සහ පාණදුර රන්කොත් විහාරයේ සුරක්ෂිත පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු ද මේ වනවිට අවසානකොට භාර දීමට නියමිතව පවතින බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය උදය කබරාල මහතා අප සමග පැවසුවේ ය.
“අපේ රටේ පැරණි විහාරස්ථානවල, කෞතුකාගාරයේ, ජාතික පුස්තකාලයේ, ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ආදි ස්ථානවල පුස්කොළ පොත් තියෙනවා. රාජ්‍ය ආයතනවල තියෙන පුස්කොළ පොත්වලට උපරිම සුරක්ෂිතතාව තියෙනවා. සමහර විහාරස්ථානවල තියෙන පුස්කොළ පොත් සුරක්ෂිතතාව අවමයි. විශේෂයෙන්ම මුහුදුකරයේ ලවණගතිය වැඩි නිසා එම ප්‍රදේශවල විහාරස්ථානවල තියෙන පුස්කොළ පොත් විනාශ වීමේ ප්‍රවණතාවය ඉතා වැඩියි. ඒ නිසා තමයි බෞද්ධාලෝක පදනමේ පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පැරණි විහාරස්ථානවල පුස්කොළ පොත් සංරක්ෂණයට ප්‍රමුඛතාවය ලබාදීමට තීරණය කරල තියෙන්නේ. ඒ වගේම පුස්කොළ පොත් සංරක්ෂණය බොහොම පරිස්සමට කළ යුතු කටයුත්තක්. ප්‍රථමයෙන් අපි අදාළ විහාරස්ථානයට ගිහින් පුස්කොළ පොත්වල කොළ එකිනෙක පරීක්ෂා කරනවා. සමහර පොත්වල පිටු මාරු වෙලා, ගැලවිලා ගිහින් තියෙනවා. ඒවා හඳුනාගෙන පුස්කොළ පොත්වල පිටු අංක කරන ක්‍රමවේදයන්ට අනුව නැවත පිළිවෙළට සකස් කරනවා. පුස්කොළ පොත් අංක කරන ක්‍රමවේදයන් හතරක් තියෙනවා. ඒ
වගේම පුස්කොළ ග්‍රන්ථ නාමය හඳුනාගන්නවා. පුස්කොළ පොත ලියලා තියෙන කාලය හඳුනාගන්නවා. පුස්කොළ පොත් ලිවීම ආරම්භ කර ඇති ක්‍රමවේදයන්, අවසාන කර ඇති ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවා වාර්තාගත කරනවා. පත්ඉරු සංඛ්‍යාව සහ දිග, පළල සඳහන් කරනවා. පුස්කොළ පොත ලියා ඇති වර්ෂය, සම්පාදකයා ගැන තොරතුරු වාර්තා කරනවා. පොතේ අඩංගු කරුණුවල සංක්ෂිප්තයක් සකස් කර ලේඛනගත කරනවා. පසුව පුස්කොළවල තිබෙන තොරතුරු පරිගණක ගත කරනවා. ඒ අයුරින් වර්ගීකරණ කටයුතු අවසානයේ පුස්කොළ පොත් සංරක්ෂණය ආරම්භ කරනවා…”
“සංරක්ෂණයේ දී සාම්ප්‍රදායික සහ රසායනික ක්‍රමවේදයන් දෙක ම භාවිත කරනවා. 75%ක් භාවිත කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්. පුස්කොළ පොත් සංරක්ෂණයේ දී අකුරු උඩ කළු මැදීම විශේෂයි. පන්හිඳෙන් කොළය මත අකුරු හැරීමෙන් පසු කළු මැදීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. කළු මැදීමට විශේෂ මිශ්‍රණයක් භාවිත කරනවා. ගැඩුඹු ශාක කොටස් පුලුස්සා අඟුරු කර, දුම්මල තෙල් එක්ක කලවම් කර තමයි ඒ මිශ්‍රණය හදාගන්නේ. දුම්මල තෙල් සිඳීම මේ වෙනකොට විශාල අභියෝගයක් වෙලා තියෙනවා. එම තෙල් සිඳීමේ සාස්තරය දන්න මිනිස්සු නෑ. වෙළෙඳපොළේ තියෙන්නේ කලවම් තෙල් මිශ්‍රණයක්. කළු මැදීමට වෙළෙඳපොළේ තෙල් භාවිත කළොත් හොඳට තියෙන පුස්කොළත් විනාශ වෙනවා. ඒ නිසා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තෙල් හිඳින මැෂින් එකක් හදලා තියෙනවා. මේ වෙනකොට මෙරට පුස්කොළ පොත් සංරක්ෂණයට අවශ්‍ය තෙල් සම්පාදනය කරන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන්. එම තෙල් වර්ගය නම් කරලා තියෙන්නේ ‘පන්හිඳ දුම්මල තෙල්’ කියලා…”
“පුස්කොළ පොත් සංරක්ෂණයේ දී තෙල් මැදීමෙන් අනතුරුව කපු නූල් දානවා. නැවත පිරිසිදු කරල ලී පතුරු වල බඳිනවා. ලී පතුරු මතුපිට පුස්කොළ පොතේ නම සඳහන් කරනවා. අංකය ඇතුළත් කරනවා. එහෙම කළාම පරිශීලනයට පහසුයි. ඒ වගේම පුස්කොළ පොත් ගබඩා කරන ක්‍රමවේදයක් තියෙනවා. හැම කබඩ්වල ම පුස්කොළ ගබඩා කරන්න බෑ. ඒවට වෙනම කබඩ් වර්ගයක් තියෙනවා. බෞද්ධාලෝක පදනම මඟින් පුස්කොළ ගබඩා කරන්න උචිත කබඩ් අදාළ විහාරස්ථානවලට පූජා කරනවා…” බෞද්ධාලෝක පදනම විසින් ක්‍රියාත්මක පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති රත්න ශ්‍රී විජේසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව උදය කබරාල මහතා අප සමග පැවසුවේ ය. එමෙන්ම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සහ බෞද්ධාලෝක පදනමේ ලේකම් පාණිනී වැදවල යන මහත්වරු ද පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට අමිල මෙහෙවරක නිරතව සිටින බව ද සැබෑ ය.
පුස්කොළ සකස් කිරීමට භාවිත කරනුයේ තල ගසෙන් ලබාගන්නා ළපටි කොළ (ගොබය) ය. කපාගත් තල ගොබයේ රිප්ප වෙන් කර, ඖෂධීය ද්‍රව්‍ය සහිත හැළියක දමා පැය කිහිපයක් තම්බා ගනු ලැබේ. තැම්බීම තුළින් කොළයේ ශක්තිමත්භාවය සහ කෘමි සත්ත්ව හානිය අවම වේ. තම්බා ගත් කොළ පසුව පින්නේ සහ සෙවණේ වේළා ගනු ලැබේ. වේළා ගත් කොළ කිතුල් පොල්ලක් ආධාරයෙන් හොඳින් ඇද සුමට (සිනිඳු) කර, අවශ්‍ය ප්‍රමාණයට තීරු කපා ගනු ලැබේ. අනතුරුව එම කොළ මත ලිවීම ආරම්භ කෙරේ. ලිවීමට ද විශේෂිත උපකරණ සහ ක්‍රමවේදයන් භාවිත කරනු ලැබේ. ඒ අනුව පුස්කොළ පොත් සකස් කිරීම වෙහෙසකර සහ දිගු ක්‍රියාවලියක් බව සැබෑ ය.
එමෙන්ම මෙරට පුස්කොළ පොත් බහුලව නිර්මාණය වී ඇත්තේ අනුරාධපුර රාජධානියේ බවට ජනප්‍රවාද, ඓතිහාසික මූලාශ්‍ර තිබේ. එහෙත් මේ වනවිට උතුරුමැද, උතුරු පළාත්හි විහාරස්ථානයකින් පුස්කොළ පොතක් සෙවීම කළුනික සොයන ගාන ය. එම පළාත් විජිතයන්ට යටත්වීමත් සමග විහාරස්ථානවල තිබුණු පුස්කොළ පොත් බොහෝමයක් විනාශ වී ගොස් ය. මේ වනවිට පුස්කොළ පොත් සුරක්ෂිතව පවතිනුයේ දකුණ, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල පමණි. එමෙන්ම 1952 වර්ෂයෙන් පසුව මෙරට විසිරී තිබෙන පුස්කොළ පොත් සංගණනයක් සිදු වී නැත. දැනට ඉතිරි වී තිබෙන පුස්කොළ පොත් සංරක්ෂණය කොට සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයකි. එහෙත් හෙළ උරුමය මතු පරපුරට සුරක්ෂිත කර තැබීමට පවතින රජයට තවම වැඩපිළිවෙළක් නැති බව පෙනේ. බෞද්ධාලෝක පදනම හෝ පුස්කොළ පොත් සංරක්ෂණයට ප්‍රමුඛතාවය ලබාදීම ජාතියේ වාසනාවකි.
(තරංග රත්නවීර දිවයින පුවත්පතට සම්පාදනය කළ ලිපියකි)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart