September 9, 2026

පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ගෙඩියක් ලැබෙන්නේද යන්න තහවුරු කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 සැප්තැම්බර් 01 සිට 03 දක්වා දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම මෙහෙයුම යටතේ සිල්ලර වෙළෙඳසැල් සහ බේකරි ඇතුළු ආයතන 118ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, පාන්වල නියමිත බර පවතින්නේද, බර සහ මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර තිබේද යන්න මෙන්ම බර අඩු පාන් හමුවන අවස්ථාවලදී ඒවා නිෂ්පාදනය කළ බේකරිය දක්වා විමර්ශන දීර්ඝ කිරීම සිදුකර ඇත.

ලැබී ඇති මූලික වාර්තාවලට අනුව සොයාගත් තොරතුරු මෙසේය:

– බර අඩු පාන් අලෙවිය: පරීක්ෂා කළ ස්ථාන අතුරින් වෙළෙඳසැල් සහ බේකරි 54ක නියමිත බර නොමැති පාන් හමු වී ඇත.

– බර ප්‍රදර්ශනය නොකිරීම: ස්ථාන 76ක පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කර තිබී නැත.

– මිල ප්‍රදර්ශනය නොකිරීම: ස්ථාන 65ක පාන්වල මිල ගණන් ප්‍රදර්ශනය කර නොතිබූ බව අනාවරණය වී ඇත.

– බේකරි විමර්ශන: බර අඩු පාන් හමු වූ අවස්ථාවලදී සැපයුම් දාමය ඔස්සේ පසුපසට විමර්ශනය කරමින් බේකරි 81ක් විශේෂ පරීක්ෂාවට ලක්කර ඇත.

සිල්ලර වෙළෙඳසැලකින් බර අඩු පාන් හමු වූ විට එම වෙළෙන්දාට පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන විමර්ශනය අවසන් නොකර, අදාළ පාන් සැපයූ බේකරිය දක්වාම පරීක්ෂණ පුළුල් කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි. එහිදී එම බේකරිවල පාන් නිෂ්පාදන ක්‍රියාවලිය, පාන්වල බර සහ වෙළෙඳපොළට නිකුත් කරන ආකාරය පරීක්ෂා කර ඇති අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි නියමිත බරින් යුතු පාන් පමණක් නිෂ්පාදනය කරන ලෙස බේකරි හිමියන්ට උපදෙස් ලබා දී ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ පාන් සඳහා විය යුතු නියමිත බර මෙසේ බවයි:

– සම්පූර්ණ පාන් ගෙඩියක්: ග්‍රෑම් 450

– අර්ධ පාන් ගෙඩියක්: ග්‍රෑම් 225

මෙම වැටලීම්වල ප්‍රධාන අරමුණ නඩු සංඛ්‍යාව ඉහළ දැමීම පමණක් නොව, පාරිභෝගිකයාට ගෙවන මුදලට නිසි සාධාරණය ඉටු කිරීම, නීතිගරුක වෙළෙඳුන්ට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සහ බර අඩු පාන් නිෂ්පාදනය මූලාශ්‍ර මට්ටමින්ම නිවැරදි කිරීම බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.