September 9, 2026

සිතියමක ඉන්දියාව පෙනෙන්නේ එහි සැබෑ ප්‍රමාණයට වඩා කුඩාවටය.

අප්‍රිකාවට ද සිදුව ඇත්තේ එයමය. මේ අතර, ග්‍රීන්ලන්තය සැබවින්ම ඉතා කුඩා වුවද, සමස්ත අප්‍රිකානු මහද්වීපයටම සමාන විශාලත්වයකින් යුතුව සිතියම්වල දිස්වේ. පරම්පරා ගණනාවක් තිස්සේ අප දැක පුරුදු ලෝක සිතියම වූයේ මෙයයි. නමුත් මීළඟ වතාවේ ඔබ සිතියමක් දෙස බලන විට එම දසුන වෙනස් වීමට ඉඩ ඇත.

සැප්තැම්බර් 4 වන දින, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මහද්වීපවල සාපේක්ෂ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන සිතියම් භාවිත කිරීමට රටවල්, පාසල් සහ තාක්ෂණික සමාගම් උනන්දු කරවන යෝජනාවලියක් සම්මත කර ගන්නා ලදී.

මෙලෙස ප්‍රචලිත කෙරෙන නව සිතියම Equal Earth ලෙස හැඳින්වේ. අපට හුරුපුරුදු සිතියමට වඩා අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, දකුණු ආසියාව සහ ඕෂනියාව යන කලාප විශාල ලෙස මින් නිරූපණය වේ.

මෙය සංචාරකයන් හමුවේ උද්‍යෝගිමත් පැනයක් මතු කරයි. එමඟින් ඔවුන්ගේ සංචාරක සැලසුම්වලට බලපෑමක් එල්ල වේද?

අප්‍රිකාව ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයක් පමණ විශාල වුවද, මර්කේටර් සිතියම් ක්‍රමය මඟින් ඒ දෙකෙහිම ප්‍රමාණයන් පුදුමය දනවන අයුරින් සමාන ලෙස පෙන්වයි.

එමෙන්ම ධ්‍රැව ආසන්නයේ පිහිටි රටවල් සහ කලාප, ඒවායේ සැබෑ ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල කර දැක්වීම ද මෙහි සිදුවේ.

‘ඊක්වල් අර්ත්’ සිතියම මඟින් මහද්වීපවල සාපේක්ෂ වර්ගඵලය නිවැරදිව නිරූපණය කරමින් මෙම විකෘතිතාව බොහොමයක් නිවැරදි කරයි. සංචාරය කරන්නේ කොතැනටදැයි තීරණය කරන අයෙකුට මෙය ඉතා ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ අප්‍රිකාවේ සංචාරයක් සැලසුම් කරන්නේ නම්, එය සති කිහිපයකින් ආවරණය කළ හැකි කුඩා සංචාරක ගමනාන්තයක් නොවන බව මින් ඔබට වැටහෙනු ඇත.

එය අතිවිශාල මහද්වීපයක් වන අතර, එහි ජනප්‍රිය සංචාරක ස්ථාන අතර පරතරය අතිමහත්ය. නගර කිහිපයක් එකතු කර සංචාරක කාලසටහනක් සකස් කිරීමට පෙර, එම මහද්වීපයේ සැබෑ විශාලත්වය වටහා ගැනීමට මෙම නව සිතියම උපකාරී වේ.

දකුණු ඇමෙරිකාවට සහ ඕස්ට්‍රේලියාවට ද මෙය එකසේ අදාළ වේ. ඒවායේ සැබෑ ප්‍රමාණයන් දෙස බැලීමෙන්, ප්‍රායෝගික නොවන ලෙස රටවල් ගණනාවක සංචාර සැලසුම් කිරීමට පෙර දෙවරක් සිතා බැලීමට ඔබට සිදුවනු ඇත.

කෙසේ වෙතත්, මෙම නව සිතියම මඟින් සැබෑ සංචාරක දුර ප්‍රමාණයන් හෝ ගුවන් ගමන් කාලයන් වෙනස් වන්නේ නැත. උදාහරණයකට, සිතියමේ අප්‍රිකාව විශාලව පෙනුණු පමණින් ඩෙල්හි සිට නයිරෝබි දක්වා වන ගුවන් ගමන කෙටි වන්නේ නැත. නමුත්, දුර ප්‍රමාණය පිළිබඳ අප සතු වැටහීම වෙනස් කිරීමට නම් එයට හැකියාව ලැබෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ මෙම යෝජනාවලිය මඟින් මර්කේටර් සිතියම් ක්‍රමය තහනම් කිරීමක් හෝ Google Maps, ගුවන් සේවා සහ GPS තාක්ෂණයන් තුළින් එය ඉවත් කිරීමට බලපෑම් කිරීමක් සිදු නොවේ. 16 වන සියවසේදී මර්කේටර් සිතියම නිර්මාණය කරන ලද්දේ මුහුදු ගමනාගමනය සහ දිශානතිය මුල් කරගනිමින් ය. දිශාවන් නිවැරදිව පෙන්වා දෙන බැවින්, නාවික සහ ගමනාගමන කටයුතු සඳහා එය තවමත් ඉතා ප්‍රයෝජනවත් වේ.

එබැවින්, ගමනාන්තයක සැබෑ විශාලත්වය වටහා ගැනීමට ඔබට අවශ්‍ය නම්, Equal Earth සිතියම ඉදිරියෙන්ම සිටියි. නමුත්, සංචාරක වේලාවන් ගණනය කිරීමට සහ මාර්ග සොයා ගැනීමට නම්, සාම්ප්‍රදායික සිතියම තවමත් ඉතා ප්‍රායෝගික අවශ්‍යතාවක් ඉටු කරයි.