August 8, 2026

ඊශ්‍රායලය යනු සමස්ත මුස්ලිම් ලෝකයටම එල්ල වූ දැඩි තර්ජනයක් බවත්, ඊට එරෙහිව සියලුම මුස්ලිම් රටවල් එක්ව ඒකාබද්ධ හමුදා පෙරමුණක් ගොඩනැගිය යුතු බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ප්‍රකාශ කළේය.

පාකිස්තානය, සෞදි අරාබිය සහ තුර්කිය අතර ත්‍රෛපාර්ශවික ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ සියලුම මුස්ලිම් රටවල් එකමුතු විය යුතුයි. ඒ ගැන මට කිසිදු සැකයක් නැහැ,” යනුවෙන් ද අසීෆ් එහිදී පැවසීය.

1917 වසරේ බ්‍රිතාන්‍යයේ බල්ෆෝර් ප්‍රකාශනය පදනම් කරගනිමින් 1940 ගණන්වල නිර්මාණය වූ ඊශ්‍රායලය නීති විරෝධී රාජ්‍යයක් බවත්, එය කලාපයේ ඕනෑම රටකට සෘජු තර්ජනයක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේදී ද ඊශ්‍රායලය මානව වර්ගයාට ශාපයක් ලෙස හඳුන්වා දුන් අසීෆ්, මෙම වසරේ ඔක්තෝබර් 27 වනදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පරාජයට පත් වුවද ඊශ්‍රායලය කෙරෙහි පවතින තම දැඩි විරෝධය වෙනස් නොවන බව අවධාරණය කළේය.