August 13, 2026

පාකිස්ථානය පුරා පිහිටි විශ්වවිද්‍යාලවල ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇති අතර, දැනට අධ්‍යාපනය ලබන සිසුන්ට ද ආපසු ඇෆ්ගනිස්ථානය වෙත යන ලෙස පාකිස්ථාන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කවුන්සිලය නියෝග කර තිබේ.

මෙම තීරණයත් සමඟ පාකිස්ථානයේ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විශ්වවිද්‍යාලවල ඇෆ්ගන් සිසුන්ගේ අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙන යාම මෙන්ම නව සිසුන් ඇතුළත් කරගැනීම ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිල නිවේදනයක් මගින් කවුන්සිලය සඳහන් කළේ, අදාළ බලධාරීන්ගේ ප්‍රතිපත්තිමය උපදෙස් සහ 2026 ජූලි 30 වැනි දින පාකිස්ථාන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කවුන්සිලය විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙම පියවර ගත් බවයි.

මෙම නියෝගය යටතේ සිසුන් විශ්වවිද්‍යාල සහ වෛද්‍ය මධ්‍යස්ථාන අතර ස්ථාන මාරු කිරීම ද තහනම් කර ඇත.

තවද, මේ වන විටත් අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති සිසුන්ගේ උපාධි ප්‍රදානය සහ ඔවුන් පාකිස්ථානයෙන් පිටවීම පිළිබඳ තොරතුරු නිල වශයෙන් සටහන් කර තහවුරු කළ යුතු බව කවුන්සිලය පවසයි. මෙම නියෝගය එක් විශ්වවිද්‍යාලයකට පමණක් සීමා නොවී, පාකිස්ථානයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික වෛද්‍ය හා දන්ත වෛද්‍ය විශ්වවිද්‍යාල සඳහා බලපැවැත්වෙන බව අදාළ ලිපියේ අවධාරණය කර ඇත.

මෙම උපදෙස් මාලාවට අනුව, අෆ්ගන් සිසුන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත පාකිස්ථාන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කවුන්සිලය වෙත ලබාදීමට විශ්වවිද්‍යාල සහ අදාළ මධ්‍යස්ථාන බැඳී සිටියි.

මෙම තීරණය පාකිස්ථානයේ ජාතික ප්‍රතිපත්තිය හා සෘජුවම බැඳී පවතින අතිශය වැදගත් කරුණක් බව ද එම ලිපියේ දැක්වේ.

පාකිස්ථාන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කවුන්සිලය යනු එරට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රමිතීන් පාලනය කරන ප්‍රධාන නියාමන ආයතනයයි.