November 24, 2026

පාකිස්තාන රජය විසින් අත්‍යවශ්‍ය නොවන ඖෂධ සඳහා පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමත් සමඟ ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව එරට තරඟකාරීත්ව කොමිසම අනාවරණය කරයි.

2024 වසරේ පෙබරවාරි මාසයේදී මෙම මිල පාලනය ලිහිල් කිරීමට රජය පියවර ගත් අතර, ඉන් අනතුරුව සිදු කළ විශේෂ අධ්‍යයනයකින් මෙම දත්ත හෙළි වී තිබේ.

වැඩිම මිල ඉහළ යාම් වාර්තා වූ ඖෂධ කාණ්ඩ අතරට අක්ෂි රෝග ප්‍රතිකාර අයත් වන අතර එම ඖෂධවල මිල 99.3% කින් ඉහළ ගොස් ඇත.

සමේ රෝග ඖෂධ 77.9% ක මිල වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඛනිජ ලවණ සහ විටමින් වර්ගවල මිල 64.8% කින් ඉහළ ගොස් තිබේ.

අධ්‍යයනය සඳහා යොදාගත් අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදන 822 ක් අතුරින් 85.6% ක මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, මිල පහළ බැස ඇත්තේ 0.2% ක පමණි. කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තවදුරටත් එරට ඖෂධ නියාමන අධිකාරියේ 2018 මිල ප්‍රතිපත්තිය යටතේ පාලනය වේ.