November 24, 2026

දෙසැම්බර් 16 වැනි දින නැවත සියරට පැමිණීමට බලයෙන් පහ කරන ලද හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා තුළ ඇති අපේක්ෂාව යථාර්ථයට නොගැළපෙන බවත්, ඇයට නැවත පැමිණිය හැක්කේ “ත්‍රස්තවාදියකු ලෙස මාංචු දමාගෙන” පමණක් බවත් බංග්ලාදේශ රජය ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය අමතමින් බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කබීර්, හසීනාට එරෙහිව එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා යළිත් අවධාරණය කරමින් කියා සිටියේ, ”බංග්ලාදේශ ජනතාව දන්නේ එකම ආකාරයක ත්‍රස්තවාදයක් පමණයි – ඒ ශෙයික් හසීනාගේ අනුග්‍රහය ලත් අවාමි ත්‍රස්තවාදයයි… ඇය වරදකරුවකු වූ අපරාධකාරියක්, පලාගිය ත්‍රස්තවාදියෙක්” බවයි

“අභ්‍යන්තර පීඩනය නිසා මුදල් ගෙවා, කුලියට ගත් පිරිසගේ උදව්වෙන් ඇයට විවිධ දේ මුද්‍රණය කර පළ කරගත හැකියි. නමුත් යථාර්ථය සහ ආශාව යනු දෙකක්; ඒ දෙක වෙන් කර හඳුනාගත යුතුයි. යථාර්ථය නම් ත්‍රස්තවාදියකුට උදර්පණ නීතිය හරහා මිස වෙනත් කිසිදු ආකාරයකින් නැවත පැමිණීමට කිසිදා ඉඩ නොදෙන බවයි. ඇය ඇඳේ නිදාගෙන ‘මම පයින් බංග්ලාදේශයට එනවා’, ‘මම ගුවන් යානයෙන් ආපසු යනවා’ වැනි බියකරු සිහින දකිනවා විය හැකියි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

79 හැවිරිදි හසීනා සියරට පැමිණීම සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ රජය ඊට දැක්වූ පළමු නිල ප්‍රතිචාරය මෙයයි. ඇයගේ අවාමි ලීග් පක්ෂය තහනම් කර ඇති සහ ඇය මේ මස මුලදී නව විදේශ ගමන් බලපත්‍රයක් හා අනෙකුත් ලියකියවිලි ඉල්ලා සිටීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම ප්‍රකාශයත් සමඟ රට තුළ දේශපාලනික හා නීතිමය නොසන්සුන්තා තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් මතුව තිබේ.

ඇයට එරෙහිව ඇති වූ මහජන නැගිටීමෙන් පසු දිල්ලියට පලා යාමෙන් මාස කිහිපයකට පසු අවලංගු කරන ලද අවශ්‍ය ලියකියවිලි ලබා දීමට අමතරව, ජාතික ගුවන් සේවය වන ‘බිමාන් බංග්ලාදේශ් එයාර්ලයින්ස්’ මගින් තමන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු සලසන ලෙස ද හසීනා බංග්ලාදේශ රජයෙන් ඉල්ලා තිබිණි.