March 20, 2026

පකිස්ථානයේ ඉදිරි දිනවලදී ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුමට බලපෑම් එල්ල වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ඉන්ධන පිරිමැසීමේ පියවර අනුගමනය කරන ලෙස එරට රජය මහජනතාවගෙන් ඉල්ලා සිටි බව ඩෝන් (Dawn) පුවත්පත වාර්තා කළේය.

ඩෝන් පුවත්පතට අනුව, ඉස්ලාමාබාද් නුවරදී අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකින් අනතුරුව නිකුත් කරන ලද නිල නිවේදනයක් මගින් මෙම ඉල්ලීම සිදු කර ඇත. එහිදී මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන පිරිමැසීමේ සහ අරපිරිමැසුම් ක්‍රියාමාර්ග පිළිබඳව ද සමාලෝචනය කර තිබේ.

පසුගිය සතියේ, ඉරානයට එරෙහිව ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් මතුවූ තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් රජය විසින් පෙර නොවූ විරූ අරපිරිමැසුම් ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී. ඩෝන් (Dawn) පුවත්පතට අනුව, මෙම යුද්ධය හේතුවෙන් පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයකට බලපාන ගෝලීය තෙල් අර්බුදයක් නිර්මාණය වී ඇත.

ඉන්ධන පිරිමැසීම සඳහා රජයේ සේවකයන්ට සතියකට දින 4ක් පමණක් සේවයට වාර්තා කරන ලෙස උපදෙස් දී ඇත.

රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයෙන් 50%ක් නිවසේ සිට වැඩ කළ යුතු බව තීරණය කර ඇති අතර, අත්‍යවශ්‍ය සේවා සපයන්නන් මෙයින් නිදහස් කර ඇත.

පාසල් සඳහා සති දෙකක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට උපදෙස් දී ඇත.

නිල වාහන සඳහා ලබා දෙන ඉන්ධන දීමනාව 50%කින් කප්පාදු කර ඇත.