March 17, 2026

පාකිස්තාන හමුදාව විසින් කාබුල් අගනුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කරන රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඇෆ්ගනිස්ථානය පවසයි.

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 400 දෙනෙකු මිය ගොස් ඇති බවට ඔවුන් චෝදනා කරයි.

කෙසේ වෙතත්, පාකිස්තානය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ එය අසත්‍ය සහ මහජන මතය නොමඟ යැවීමට ගත් උත්සාහයක් ලෙස හඳුන්වමිනි.

පසුගිය සඳුදා තමන් ඉලක්ක කළේ කාබුල් සහ නන්ගර්හාර් පළාතේ පිහිටි හමුදා ස්ථාන පමණක් බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජයේ නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිත්‍රාත්ට අනුව, කාබුල්හි ඕමාර් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කරන රෝහලට එල්ල වූ මෙම ප්‍රහාරය එරට වේලාවෙන් රාත්‍රී 9:00 ට පමණ සිදුවී ඇත.

ඇඳන් 2,000 කින් යුත් මෙම දැවැන්ත රෝහල් ගොඩනැගිල්ලේ විශාල කොටසක් ප්‍රහාරයෙන් විනාශ වී ඇති බව ඔහු X (ට්විටර්) පණිවිඩයක් මගින් තහවුරු කළේය.

මේ වන විට මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 250ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.