June 7, 2023

විදේශ රැකියා සඳහා රටින් පිටව යෑමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය ලබාදී ඇත.

විදේශ රැකියා සඳහා පිටව යෑමට අවශ්‍ය පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා තමන්ට විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකි වී ඇති හෙයින්, ඒ සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදෙන ලෙසට බොහෝ පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහජන ආරක්ෂක ඇමැතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන, නව ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

නව ක්‍රමවේදය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 378 වගන්තිය යටතේ ඇති වංක පරිහරණය, දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තියේ සිට 392 වගන්තිය දක්වා ඇති සාපරාධී විශ්වාසය කඩකිරීම, 400 වගන්තිය සිට 403 වගන්තිය දක්වා ඇති වංචා කිරීම සහ විෂ වර්ග, අබිං, අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු මෙසේ පොලිස් වාර්තාවට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇති බවත්, එමෙන්ම කිසියම් පුද්ගලයකු නීතිමය කටයුත්තකින් නිදොස්කොට නිදහස් කර ඇති අවස්ථාවකදී හෝ යම් නීති කටයුත්තකින් නිදහස් කර ඇති අවස්ථාවකදී එයත් පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමට අවශ්‍ය නොවන බවටත් තීරණය වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පරමාර්ථ කරගත් සියලුම පනත් යටතේ ඇති වරදවල් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති වරදවල් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පොලිස් වාර්තාවට ඇතුළත් කෙරෙන බවත් ඇමැති ටිරාන් අලස් සඳහන් කරයි.