August 3, 2026

ලෝකයේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන විශාලතම සහ වඩාත්ම අභිමානවත් විවාද තරගාවලිය වන ලෝක පාසල් විවාද ශූරතාවලියේදී (WSDC) ශ්‍රී ලංකා ජාතික පාසල් විවාද කණ්ඩායම මෙරට විවාද ඉතිහාසයේ අතිවිශිෂ්ටතම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබේ.

2026 ජූලි 14 සිට 24 දක්වා කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැති මෙම තරගාවලිය සඳහා රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් සිසුන්, පුහුණුකරුවන් සහ විනිසුරුවන් 700කට අධික පිරිසක් සහභාගී වූහ.

එහිදී මූලික වටයේ පැවැති තරග 8න් තරග 7ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, මූලික වටය අවසානයේ සමස්ත තරගාවලියේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා විවාද කණ්ඩායමක් ලෝක ශූරතාවලියකදී මූලික වටයේ ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර, එය මෙරට විවාද ඉතිහාසයේ තැබූ ඉහළම වාර්තාවයි.

ඉන් අනතුරුව කණ්ඩායම අටවැනි පූර්ව අර්ධ අවසාන වටය (Double Octo-Finals) දක්වා ඉදිරියට ගියේය.

මීට පෙර ලෝක පාසල් විවාද ශූරතාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව තබා තිබූ හොඳම වාර්තාව වූයේ 2023 වසරේදී ලබාගත් 4 වැනි ස්ථානයයි.

අන්තර්ජාතික මට්ටමේ දැඩි තරගකාරීත්වයක් පවතින පසුබිමක මෙම වාර්තාව අලුත් කිරීමට හැකිවීම ශ්‍රී ලංකාවේ නාමය ලෝක මට්ටමට ගෙන යෑමට මෙන්ම ඉදිරි පරම්පරාවලටද විශාල ආදර්ශයක් වී තිබේ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු කොරියාව, හොංකොං, කැනඩාව සහ නවසීලන්තය වැනි ලොව ප්‍රබලතම විවාද කණ්ඩායම් හමුවේ තරග කිරීමට සිදු විය.

ක්‍රීඩාවේ කාර්යභාරය, ගෝලීය දේශපාලනය, ආර්ථික ප්‍රතිපත්ති සහ අන්තර්ජාතික කටයුතු ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ඔස්සේ මූලික වටයේදී විවාද පැවැත්විණි.

අන්තර්ජාතික විනිසුරු මඬුලු හමුවේ පැහැදිලි හා තර්කානුකූල කරුණු ඉදිරිපත් කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට ශ්‍රී ලංකා සිසුහු සමත් වූහ.

මෙවර කණ්ඩායමට සවිත් විජේසුන්දර, රුදේෂ් රාම්, ඇඩම් දිල්ෂාන්, ටී. තරනිහරන් සහ අපූර්වා ජිනදාස ඇතුළත් වූ අතර ශාලම් සුමන්තිරන්, සචින් තිසේරා සහ කවින්ද්‍ර සේනාරත්න විසින් ඔවුන් පුහුණු කරන ලදී.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් 2026 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ශාලම් සුමන්තිරන් සඳහන් කළේ, “මූලික වටයෙන් පසුව ලෝකයෙන්ම 1 වැනි ස්ථානයට පත්වීම ශ්‍රී ලංකාවට ඉතා විශේෂ ජයග්‍රහණයක්. ඉංග්‍රීසි මව්බස නොවන කුඩා රටකට වුවද දක්ෂතාව සහ කැපවීම තිබේ නම් ලොව හොඳම කණ්ඩායම් පරදවා ජයග්‍රහණය කළ හැකි බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. අන්තර්ජාතික තලයේදී ඔවුන් ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබඳව මුළු රටම ආඩම්බර විය යුතුයි,” යනුවෙනි.