October 17, 2025

ණය දීමේ වංචනික ක්‍රම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පැමිණිලි වැඩිවන බැවින් අන්තර්ජාලය හෝ ජංගම දුරකථන හරහා ණය ලබාගැනීමේදී ප්‍රවේශම් වන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම්දෙයි.

පොලිසිය පවසන්නේ, සැලකිව යුතු ආයතන සංඛ්‍යාවක් දැනට අන්තර්ජාලය හරහා සහ ජංගම දුරකථන වේදිකා හරහා ණය ලබාදීමේ ක්‍රම ප්‍රචාරය කරමින් සිටින අතර, බොහෝවිට මෙම දීමනා ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී ඔවුන් කිසිදු ඇපකරයක අවශ්‍යතාවක් නොමැතිව ක්ෂණික ණය ලබාගැනීම සඳහා ඇති හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා අනවශ්‍ය දුරකථන ඇමතුම් ද ලබාදෙයි.

කෙසේවෙතත්, පොලිසියට ලැබුණු වාර්තාවලින් හෙළිව ඇත්තේ, එවැනි ණය ලබාගැනීමෙන් පසු බොහෝ පුද්ගලයන් බරපතල මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවයි.

බොහෝ අවස්ථාවලදී, ණය ගැණුම්කරුවන්ට අනපේක්ෂිත ලෙස අතිශයින් ඉහළ පොලී අනුපාත ගෙවීමට සිදුවන බව දෛනික පැමිණිලිවලින් පෙනීයන බව පොලිසිය පවසයි.

එපමණක් නොව, මෙම ආයතන නැවත නැවතත් ණය ගැණුම්කරුවන්ට හිරිහැර වන ආකාරයෙන් කතාකිරීම සහ ගෙවීම් කිරීමට ප්‍රමාද වන අය ලැජ්ජාවට පත්කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකාවල අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීම වැනි සදාචාර විරෝධී අයකර ගැනීමේ ක්‍රියාවන්හි නිරත වන බවට ද පොලිසියට පැමිණිලි ඉදිරිපත් වී තිබේ,

මෙම ගැටළුවලට ප්‍රතිචාර වශයෙන්, පොලිසිය මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වා ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ ඩිජිටල් වේදිකා හරහා ණය ලබා දෙන බොහෝ ආයතන මහ බැංකුව විසින් නියාමනය කර නොමැති බවයි.

එවැනි ආයතන නිසි නියාමන අධීක්ෂණයකට යටත් කිරීමට පියවර ගනිමින් සිටින බව මහ බැංකුව ප්‍රකාශ කර ඇති බව පොලිසිය පවසයි.

එබැවින් එවැනි නීත්‍යානුකූල නොවන ආයතන හරහා සිදුවිය හැකි සූරාකෑම සහ මූල්‍ය හානි වළක්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් නිසි ලෙස නියාමනය කරනු ලබන ආයතනවලින් පමණක් මූල්‍ය සේවා ලබාගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වැඩිදුර තොරතුරු සඳහා හෝ ඕනෑම සැක සහිත මූල්‍ය ක්‍රියාකාරකම් වාර්තා කිරීමට, මහජනතාවට ළඟම ඇති පොලිස් ස්ථානය ඇමතීමේ හෝ මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව පවතී.