June 27, 2026

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 50 දෙනෙකුගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීතිවිරෝධී ජාවාරමට එරෙහි දිනය නිමිත්තෙන් පුනරුත්ථාපන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය විරෝධී පාගමනේදී ඇය මේ බව අනාවරණය කළාය.

කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම නිසා මෙරට සෑම පවුලකම මව්වරුන් සහ කාන්තාවන් පීඩා විඳින බවත්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ජීවිත අඳුරු වන බවත් අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙම දැවැන්ත ව්‍යසනයෙන් රට මුදාගැනීම සඳහා දැවැන්ත සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.

මේ අතර, මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාවලීන්ට සම්බන්ධව මෑතකදී සිදුකළ අත්අඩංගුවට ගැනීම් හරහා දේශපාලන ජාලයන් සහ මත්ද්‍රව්‍ය අපරාධ අතර පවතින සබඳතා හෙළිවෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නිදහස් කර ගැනීම සඳහා රුපියල් කෝටි ගණනින් අල්ලස් දීමට උත්සාහ කර ඇති බවද ඔහු හෙළිකළේය.

පසුගිය වකවානුවේදී සැකකරුවන් ආයුධ පෙන්වීමට රැගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක් රඳවා තබාගෙන, පසුව ඔවුන් නිදහස් කර ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණයන් පවා භාවිත කර ඇති බවට ඔහු චෝදනා කළේය.

“එදා තිබුණේ එවැනි දේශපාලන සංස්කෘතියක්” යැයි පැවසූ අමාත්‍යවරයා, අපරාධකාරී රාජ්‍යයක් බිහිකිරීමට ගත් උත්සාහයන් දැන් හෙළිවෙමින් පවතින බවත්, මෙම වැරදිකරුවන්ට නීතිය ඉදිරියේ වගවීමට සැලස්වීමට රජය කටයුතු කරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.