September 24, 2026

ජාතික කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ නිල රියදුරු ලෙස කටයුතු කළ 29 හැවිරිදි තරුණයකු දින දෙකක කාලයක් තිස්සේ අතුරුදන්ව සිට ඊයේ (23) අලුයම සංස්ථා පරිශ්‍රයට නැවත පැමිණ, වාහනය එතැනම දමා පළාගොස් ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වන අන්දමට, ඉකුත් 21 වැනිදා කොළඹ 06, ස්ටැෆ්ඩ් පාරේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සිට කඩවත ප්‍රදේශයේ පිහිටි සභාපතිවරයාගේ නිවස වෙත ඔහුව කැඳවාගෙන ඒම සඳහා කැබ් රථයෙන් පිටත්ව ගිය මෙම රියදුරා අතරමගදී අතුරුදන් වී තිබේ.

නියමිත වේලාවට වාහනය නිවසට නොපැමිණීම නිසා සභාපතිවරයා දුරකථනයෙන් විමසූ විට, කැබ් රථයේ ඉන්ධන කාන්දුවක් ඇති බව රියදුරු පවසා ඇත.

ඒ අනුව කඩවත පිහිටි ගරාජයකට වාහනය පෙන්වන ලෙස සභාපතිවරයා උපදෙස් දී ඇති අතර, එහි කාර්මිකයන් පරීක්ෂා කර බලා රථයේ කිසිදු දෝෂයක් නොමැති බව තහවුරු කර තිබේ.

කෙසේවෙතත්, එදින සවස වන තෙක්ම රියදුරු හෝ වාහනය කාර්යාලයට පැමිණ නොමැති අතර, ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර තිබී ඇත.

මේ හේතුවෙන් සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාර සමන් ප්‍රියංකර ප්‍රනාන්දු විසින් වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අතුරුදන්ව සිටි රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පදිංචි මෙම රියදුරා ඊයේ (23) අලුයම 6.30ට පමණ හදිසියේම කැබ් රථය පදවාගෙන අවුත් සංස්ථා පරිශ්‍රයේ නවතා තිබේ.

අනතුරුව තමන් ලෑස්ති වී නැවත පැමිණෙන බව ආරක්ෂක නිලධාරීන්ට පවසා එතැනින් පිටව ගොස් ඇති අතර, පසුව ඔහු නැවත පැමිණ නැත.