August 3, 2026

සතුන් කෙරෙහි කරුණාව, දයාව සහ සුබසාධනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද නව සත්ව සුබසාධන පනත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම නව පනත සකස් කර තිබේ.

මෙම නව පනත මගින් සතුන්ට සිදුවන විවිධ වද හිංසාවන් තහනම් කර ඇති අතර, නීති කඩකරන්නන්ට දඩ මුදල්, බන්ධනාගාරගත කිරීම් හෝ එම දඬුවම් දෙකම ලබා දීමට ප්‍රතිපත්ති සකසා ඇත.

පනතින් පැනවෙන ප්‍රධාන තහනම් සහ නීති පහත පරිදි වේ;

– ආගමික හෝ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා සතුන් යොදාගත හැකි වුවද, උන්ගේ පාදවලට මුදු, දම්වැල් දැමීම, ගෙළ වටා සිරකිරීම සහ කම්බිවලින් හිරකිරීම තහනම් වේ.

– සතුන් අධික ලෙස ඇවිද්දවීම, බර පැටවීම, වදහිංසා කිරීම, වේදනාවක් ඇතිවන පරිදි දම්වැල් හෝ ලණුවලින් බැඳ තැබීම හා සීමා කිරීම තහනම් කර ඇත.

– සතුන් කෲර ලෙස සැලකීම හා මැරීම, ගැබිණි සතුන් මැරීම, උගුල් අටවා ඇල්ලීම, පක්ෂීන් නීති විරෝධී ලෙස සිරකර තැබීම, සතුන් ප්‍රවාහනය හා විකිණීමේදී හිංසා කිරීම, අවුරුදු 10 ට අඩු තැනැත්තෙකුට සතුන් විකිණීම සහ සුදුසුකම් නැති අය සතුන්ට ප්‍රතිකාර කිරීම මෙහිදී වරදවල් ලෙස දක්වා ඇත.

තවද, සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සහ අමාත්‍යවරයා පත්කරන නියෝජිතයින්ගෙන් සමන්විත ‘සත්ව සුබසාධන උපදේශක කමිටුවක්’ පිහිටුවීමටද මෙම නව පනත මගින් යෝජිතය.

(උපුටාගැනීම – දිවයින)