March 11, 2026

නේපාලයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් තේරී පත්වූ, නේපාලයේ රාස්ත්‍රීය ස්වාධීන පක්ෂයේ නායක බාලේන්ද්‍ර ෂා තමන් වෙත සුබපැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තූතිය පළ කළේය.

එසේම ඉන්දියාව පිරිමි විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන්ද ෂා ඉන්දියාවට සිය සුබපැතුම් පිරිනමා ඇත.

තමන් වෙත සුබපැතුම් පිරිනැමූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් ෂා සඳහන් කර ඇත්තේ පවතින ඓතිහාසික, සමීප සහ බහුවිධ සබඳතා ඉදිරි දිනවලදී තවදුරටත් ශක්තිමත් කිරීමට, ගැඹුරු කිරීමට සහ වඩාත් ප්‍රතිඵලදායී කිරීමට අපි එක්ව කටයුතු කරන බවට තමන් විශ්වාස කරන බවයි.

මෙම මාසයේ පවත්වන ලද නේපාල මහා මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් අත්කර ගනිමින්, හිටපු රැප් ගායකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂාගේ RSP පක්ෂය විශාලතම ජයග්‍රාහකයා ලෙස ඉස්මතු විය.

එමෙන්ම ඉන්දියාවේ ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ෂා පැවසුවේ අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සහ ඉන්දීය ජනතාවට සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමන බවයි.