August 15, 2023

නාවික හමුදාව සහ ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය විසින් අගෝස්තු 14 වැනිදා අනුරාධපුරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ප්‍රෙගබලින් (Pregabalin) මිලිග්‍රෑම් 150 වර්ගයේ කරල් 11,377ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රෙගබලින් අපස්මාරය සහ කාංසාව සඳහා ප්රතිකාර කිරීමට භාවිත කරයි. එය ස්නායු වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා ද ගනු ලැබේ.

මැදවච්චිය ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට ඔසුසැලක් සැකපිට පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට තිබූ මෙම කරල් තොගය සොයාගෙන ඇත.

උතුරු මැද නාවික විධානය විසින් අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකයේ සම්බන්ධීකරණයෙන් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, සැකකරු සහ ප්‍රෙගබලින් කරල් 11,377ක ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය වෙත භාර දීමට කටයුතු කර ඇත.