November 6, 2026

තැපැල් දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය සඳහා ඉදිකිරීමට නියමිත නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නුවරඑළිය නගරයේ ඓතිහාසික අනන්‍යතාව ආරක්ෂා කරමින් සංචාරක ආකර්ෂණය හා සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලය යනු හුදෙක් තැපැල් සේවා සපයන රාජ්‍ය ආයතනයක් පමණක් නොව, නුවරඑළිය නගරයේ ඓතිහාසික උරුමය හා බැඳුණු සුවිශේෂී ගොඩනැගිල්ලක් බවයි.

යටත්විජිත සමයේ ඉදිකරන ලද මෙම ඓතිහාසික තැපැල් කාර්යාලය වසර ගණනාවක් පුරා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ අවධානය දිනාගත් නුවරඑළියේ ප්‍රධාන සංචාරක සලකුණක් බවත්, එහි ඓතිහාසික වටිනාකම හා ගෘහ නිර්මාණ අනන්‍යතාව ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය නව පහසුකම් සැලසීමත් සමඟ නුවරඑළියේ ඓතිහාසික තැපැල් කාර්යාලය හා ඒ අවට පරිශ්‍රය සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට දායක කරගැනීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

නුවරඑළිය යනු දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් වාර්ෂිකව පැමිණෙන සංචාරක පුරවරයක් බැවින් එහි පවතින ඓතිහාසික ගොඩනැගිලි, පරිසරය හා අනන්‍යතාව ආරක්ෂා කරමින් සංචාරකයන්ට ආකර්ෂණීය අත්දැකීම් ලබාදිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

තැපැල් සේවාවේ සාම්ප්‍රදායික වටිනාකම් ආරක්ෂා කරගනිමින් නවීන පහසුකම් සහිත සේවාවක් ජනතාවට ලබාදීම මෙන්ම සංචාරක ව්‍යාපාරය හරහා නව ආදායම් උත්පාදන අවඅවස්ථා ඇති කිරීමද මෙම සංවර්ධන වැඩපිළිවෙළේ අරමුණු අතර වන බව අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමේදී අවධාරණය විය.