September 29, 2026

කුලි­යා­පි­ටිය-මාදම්පේ ප්‍රධාන මාර්ගයේ කරු­ක්කුව මංස­න්ධි­යේදී එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙ­නකු ගමන් ගත් යතු­රු­පැ­දි­යක් විදුලි කණු­වක ගැටී­මෙන් සිදු වූ අන­තු­ර­කින් පුතුන් දෙදෙනා මිය­ගොස් මව බර­ප­තළ තුවාල ලබා රෝහ­ල්ගත කර තිබේ.

ඊයේ (28) අලු­යම 5.00ට පමණ මෙම අන­තුර සිදු වී ඇත. අන­තු­රින් මිය­ගොස් ඇත්තේ 27 හැවි­රිදි අයෝධ්‍ය හංස­මාල් නමැති වැඩි­ම­හල් පුත්‍රයා සහ 12 හැවි­රිදි ශයා­මක සදීත නමැති බාල පුත්‍රයා වන අතර, බර­ප­තළ තුවාල ලැබූ 49 හැවි­රිදි මව වන ප්‍රියංකා කුමු­දුනී හලා­වත මහ රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. මේ වන විට ඇය දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටී.

මිය­ගිය සහ තුවාල ලැබූ අය දුම්ම­ල­සූ­රිය, හොර­ග­ස්අ­ගාර ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් බව පොලී­සිය පව­සයි. පොලි­සිය සිදු කළ මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත්තේ, යතු­රු­පැ­දිය වැඩි­මල් පුත්‍රයා විසින් පදවා ඇති අතර, මව සහ 12 හැවි­රිදි බාල පුත්‍රයා ඔහු සමඟ ගමන් කර ඇති බවයි. අධික වේග­යෙන් පැමිණි යතු­රු­පැ­දියේ වේගය පාල­නය කර­ගත නොහැ­කිව මාර්ග­යෙන් ඉව­තට ගොස් අසල තිබූ විදුලි ආලෝක කණු­වක ගැටී­මෙන් අන­තුර සිදු වී ඇති බව ද පොලී­සිය කියයි.

අන­තුර සිදුවන අව­ස්ථාවේ මව සහ යතු­රු­පැ­දිය පැදවූ වැඩි­මල් පුත්‍රයා හිස්වැ­සුම් පැළඳ සිට ඇති අතර, 12 හැවි­රිදි බාල පුත්‍රයා හිස්වැ­සු­මක් පැළඳ නොසිටි බව ද පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ. අන­තුර සිදුවීමෙන් පසුව ප්‍රදේ­ශ­වා­සීන් විසින් තිදෙනා කඩි­න­මින් හලා­වත මහ රෝහ­ලට රැගෙන යෑමට කට­යුතු කර තිබේ. රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව පුතුන් දෙදෙනා මිය­ගොස් ඇති බව සඳ­හන් වේ.

ඔවුන් තිදෙනා ඊයේ (28) පෙර­ව­රුවේ කොළඹ පිහිටි විදේශ රැකියා ආය­ත­න­ය­කට යෑම සඳහා අලු­යම 4.45ට පමණ නි‍ෙව­සින් පිටත්ව ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ.

මාදම්පේ දුම්රිය ස්ථාන­යෙන් පෙර­වරු 5.15ට පමණ කොළඹ බලා පිටත් වන දුම්රි­යට ගොඩ­වීම ඔවුන්ගේ අර­මුණ වී ඇති බවත්, නිවෙසින් පිටත් වීමට ප්‍රමාද වීම හේතු­වෙන් යතු­රු­පැ­දිය අධික වේග­යෙන් ධාව­නය කර ඇති බවට මූලික විම­ර්ශ­න­ව­ලදී තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බවත් පොලී­සිය සඳ­හන් කරයි.

(උපුටාගැනීම – දිනමිණ)