August 1, 2026

සීෂෙල්ස් සිට ජපානය, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා සිදු කළ සංචාරය හරහා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි තම රටේ උපායමාර්ගික ප්‍රවේශය ඉන්දු-පැසිෆික් කලාපය තුළ සලකුණු කළේය. වර්තමාන ගෝලීය භූ-දේශපාලනයේ මූලික කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම කලාපය හැඳින්වේ.

නැගෙනහිර අප්‍රිකානු වෙරළ තීරයේ සිට පැසිෆික් දූපත් දක්වා විහිදෙන ඉන්දියාවේ සාගරික උපායමාර්ගය, කලාපයේ නාවික ආරක්ෂාව මෙන්ම සැපයුම් දාමයන්හි ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා ද අතිශය තීරණාත්මක වේ.

අගමැති මෝදිගේ සහ ඉන්දියාවේ මෙම ඉන්දු-පැසිෆික් කලාපීය දැක්ම, එරට ආර්ථික සමෘද්ධියට, උපායමාර්ගික අභිලාෂයන්ට මෙන්ම සාගරික ආරක්ෂාවට ද සෘජු බලපෑමක් එල්ල කරයි.

ආර්ථික හවුල්කාරිත්වයන්ගෙන් සමන්විත මෙම උපායමාර්ගික භූ දර්ශනය තුළ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැදගත් පාර්ශවකරුවන් ලෙස සැලකේ. එමෙන්ම, මෙය ඉන්දියානු නායකයෙකු වසර 40 කට පසු නවසීලන්තයේ සිදු කළ පළමු නිල සංචාරය ලෙස ද ඉතිහාසයට එක් විය.

අගමැති මෝදිගේ මෙම විදේශ සංචාරය ආරම්භ වූයේ ජූලි 6 සිට 8 දක්වා ඉන්දුනීසියාවේ ‘ඉස්තානා මෙර්ඩෙකා’ හිදී එරට ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා සමඟිනි. එහිදී දෙරට අතර ආරක්ෂක, සාගරික ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික වෙළඳ කටයුතු පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කෙරිණි.

ඉන් අනතුරුව, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අගමැති මෝදි, අගමැති ඇන්තනි ඇල්බනීස් සහ අග්‍රාණ්ඩුකාර සෑම් මොස්ටින් හමුවූ අතර, එහිදී හරිත බලශක්තිය සහ තීරණාත්මක නිජඛනිජ (critical minerals) සම්බන්ධයෙන් වැදගත් ගිවිසුම් කිහිපයකට එළඹීමට සමත් විය.

අනතුරුව ජූලි 10 සහ 11 යන දිනවල නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අගමැති ක්‍රිස්ටෝෆර් ලක්සන් සමඟ පැවැති සාකච්ඡාවලදී වෙළඳ හා ආරක්ෂක ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

ඉන්දුනීසියාවේදී අගමැති මෝදි සහ ජනාධිපති ප්‍රබෝවෝ අතර පැවැති නිල ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී දේශපාලන සබඳතා, ආරක්ෂක හා යුද සහයෝගීතාව, සාගරික සහයෝගීතාව මෙන්ම වෙළඳ හා ආයෝජන කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු විය.

මීට අමතරව ඩිජිටල් ආර්ථිකය, විද්‍යා හා තාක්ෂණ, අභ්‍යවකාශ ක්ෂේත්‍රය, තීරණාත්මක ඛනිජ, බලශක්ති සහ කෘෂිකර්මාන්තය යන තීරණාත්මක ක්ෂේත්‍ර රැසක් ද මෙම සාකච්ඡාවලට ඇතුළත් විය.

“අපි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙකක්, අප අතර පවතින මෙම හවුල්කාරිත්වය මුළු කලාපයටම යහපතක් උදා කරනු ඇති.” ” යනුවෙන් එහිදී අදහස් දක්වමින් ජනාධිපති ප්‍රබෝවෝ පැවසීය. ”

ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව ඇමතූ අගමැති මෝදි කියා සිටියේ ඉන්දියන් සාගර කලාපයේ නාවික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට එක්ව කටයුතු කරන බවයි.

“අපගේ හවුල්කාරිත්වය යනු රටවල් දෙකක් අතර පවතින සබඳතාවයක් පමණක් නොවේ. එය ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරභාවය, ගෝලීය දකුණේ ශක්තිය සහ ලෝකයේ පොදු අනාගතය වෙනුවෙන් තබන ලද විශ්වාසයේ ප්‍රතිඥාවක්,” යැයි අගමැති මෝදි මෙහිදී අවධාරණය කළේය.

ශක්තිමත් ඉන්දියා-ඉන්දුනීසියා සබඳතාවයේ ප්‍රධාන තූනක් ලෙස ආර්ථික හා වෙළඳ සහයෝගීතාව තවදුරටත් පවතින බව නායකයන් දෙපළ මෙහිදී පෙන්වා දුන්හ.

ඔස්ට්‍රේලියාවේදී අගමැති මෝදි, පිරිසිදු බලශක්තිය, යටිතල පහසුකම් සහ කෘතිම බුද්ධිය යන ක්ෂේත්‍රයන්හි ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉන්දියා-ඔස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය සහ ආර්ථික මාර්ග සිතියම් ව්‍යාපාරික හමුව අමතමින් අගමැති මෝදි කියා සිටියේ වර්තමාන ලෝකය අවිනිශ්චිතතාවයන්, සැපයුම් දාමයන්හි බිඳවැටීම් සහ බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.

“මෙවැනි කාලවකවානුවක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව විශ්වාසනීය සහ ස්වාභාවික හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම ස්වාභාවික මෙන්ම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. පසුගිය වසර කිහිපය තුළ දෙරටේම ශක්‍යතාවන් එක්තැන් කරමින් ඉදිරි සහයෝගීතාව සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට අපට හැකි වුණා,” යැයි මෝදි වැඩිදුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියා-ඉන්දියා සබඳතාවය මීට පෙර කවරදාකටවත් වඩා මේ වන විට ඉතා වැදගත් මට්ටමක පවතින බව එහිදී අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කළේය.

“අපගේ හවුල්කාරිත්වය ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව, ස්ථාවරභාවය සහ සමෘද්ධිය තහවුරු කරනවා. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පවතින මෙම ගැඹුරු හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඇල්බනීස් පැවසීය.

නවසීලන්තයේදී අගමැති මෝදි සහ අගමැති ලක්සන් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාව උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමට ප්‍රතිඥා දුන්හ.

“මෙය අපගේ සබඳතාවයේ නව පරිච්ඡේදයක ආරම්භය සලකුණු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අගයන් කෙරෙහි අප තුළ ඇති පොදු, දැඩි විශ්වාසය ඉන්දියාවට සහ නවසීලන්තයට එක්ව ඉදිරියට යාමට පහසුවක් සලසනවා,” ‍යනුවෙන් අගමැති මෝදි පැවසීය.

නවසීලන්ත අගමැති ලක්සන් මෙය විස්තර කළේ “සැබවින්ම ඓතිහාසික සිදුවීමක්. නවසීලන්ත-ඉන්දියා සබඳතාවයේ වැදගත් සංධිස්ථානයක්” ලෙසයි.

සමස්තයක් ලෙස ගත් කල, මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවීම් මගින් පෙන්නුම් කරන්නේ පොදු අභිලාෂයන් මත පදනම් වූ ආයෝජන, අති නවීන තාක්ෂණය සහ සැපයුම් දාමයන්හි ස්ථාවරභාවය සමන්විත වූ ප්‍රබල උපායමාර්ගික රාමුවකි.