September 29, 2026

බටහිර ආසියාවේ පවතින අඛණ්ඩ ගැටුම් හමුවේ අන්තර්ජාතික නීතිය සහ අන්තර්ජාතික මානුෂීය නීතිය තදින්ම අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අතර, පලස්තීන ජනතාවගේ ස්වයං තීරණ අයිතිය සඳහා වන සිය සහයෝගය නැවත වරක් තහවුරු කරයි.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් කියාසිටියේ, බටහිර ආසියාවේ සහ අනෙකුත් ප්‍රදේශවල පවතින ගැටුම් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට, ආර්ථිකයට සහ සමාජයට සෘජු බලපෑමක් එල්ල කරන බවයි. විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති භූගෝලීය පිහිටීම සහ එම කලාපයේ විශාල ශ්‍රී ලාංකික විදේශ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාවක් සේවය කිරීම මෙයට හේතු වී ඇත.

අභියෝගාත්මක භූ-දේශපාලනික පරිසරයක් පැවතියද, ශ්‍රී ලංකාව සිය අන්තර්ජාතික ඇපකැපවීම් ඉටුකිරීමටත්, මිනිස් ජීවිත සහ ගෞරවය ආරක්ෂා කිරීමටත් අඛණ්ඩව කටයුතු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම වසරේ මාර්තු මාසයේ සිදු වූ සිදුවීමක් සිහිපත් කරමින් ඇමැතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේදී අනතුරට පත් ගැටුම්කාරී පාර්ශවයකට අයත් නෞකාවක සිටි නාවිකයන් පිරිසක් බේරාගැනීමට කටයුතු කළ බවයි.

“අපගේ අපක්ෂපාතීත්වය සුරකිමින්, අපි සියල්ලටම වඩා මානුෂීයත්වයට මුල් තැන දුන්නෙමු” යැයි ශ්‍රී ලංකාවඔහු පැවසූ අතර, තුවාල ලැබූ සහ අසනීප වූ නාවිකයන් බේරාගැනීමට සහ ඔවුන්ට උපකාර කිරීමට තමන් සතු සීමිත සම්පත් යොදවා පසුව තවත් සිය ගණනක් බේරාගත් ආකාරය මතක් කර දුන්නේය.

මෙම තීරණය ගනු ලැබුවේ අන්තර්ජාතික නීතිය සහ මානුෂීය මූලධර්මවලට අනුකූලව බවද ශ්‍රී ලංකාව සඳහන් කළේය.

“ජනාධිපති දිසානායක යළි යළිත් අවධාරණය කර ඇති පරිදි, ‘මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීමට අපි කිසිවිටෙකත් පසුබට නොවන්නෙමු. මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබේ නම්, ඕනෑම තත්ත්වයක් යටතේ ඒවා ගැනීමට අපි පසුබට නොවන්නෙමු’,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ගැටුම් සහ දැඩි බෙදීම් මැද වුවද, මානුෂීයත්වය උදෙසා සැමවිටම ඉඩක් ඇති බව විශ්වාස කරන කුඩා දූපත් රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ පෙනීසිටීමට ශ්‍රී ලංකාව කැමති බව ඇමැතිවරයා පැවසීය.

“අපට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වය විනාශ කිරීමට ඇති හැකියාවට වඩා මනුෂ්‍යත්වය සුරැකීමට ඇති හැකියාව වේගයෙන් වර්ධනය වන ලෝකයකි. අප අපේක්ෂා කළ යුත්තේ එවැනි පරිවර්තනයකි,” ශ්‍රී ලංකාව ප්‍රකාශ කළේය.

ගාසා තීරයේ සහ යටත් කරගත් පලස්තීන ප්‍රදේශවල පවතින තත්ත්වය පිළිබඳව විශේෂ කංසාව පළකළ ඇමැතිවරයා, එහි සිදුවන අඛණ්ඩ වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව පැවසීය.

මෑත වසරවලදී ගෝලීය ආරක්ෂිත පරිසරය සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව පැවසූ ඇමතිවරයා, දරුවන් සාගින්නෙන් පෙළෙමින් ඖෂධ සහ අධ්‍යාපනය අහිමිව සිටියදී, ආයුධ සඳහා මෙතරම් විශාල සම්පත් ප්‍රමාණයක් අඛණ්ඩව වැයකිරීම පිළිබඳව ප්‍රශ්න කළේය.

“බටහිර ආසියාවේ පවතින ගැටුම් සහ එම කලාපයෙන් ඔබ්බට ද දැරීමට සිදුව ඇති දැඩි පිරිවැය පිළිබඳව ශ්‍රී ලංකාව තවදුරටත් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී,” යැයි හෙතෙම සඳහන් කළේය.

අන්තර්ජාතික මානුෂීය නීතිය ඇතුළු අන්තර්ජාතික නීතියට සියලුම පාර්ශ්වයන් ගරු කළ යුතු බව නැවත නැවතත් අවධාරණය කළ ශ්‍රී ලංකාව, ඉදිරියට යාමට ඇති එකම ප්‍රායෝගික මාර්ගය සාකච්ඡා මාර්ගය පමණක් බව පෙන්වාදුන්නේය.

තවද, පලස්තීන ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ඇතුළු අයිතිවාසිකම් සඳහා වන සිය සහයෝගය ශ්‍රී ලංකාව එහිදී නැවතත් තහවුරු කළේය.

1980 දශකයේදී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගත් රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටි බව මතක් කළ අතර, 1967 ට පෙර පැවති සීමාවන් ඇතුළත, ඊශ්‍රායලය සමඟ සාමයෙන් සහජීවනයෙන් වෙසෙන ස්වාධීන පලස්තීන රාජ්‍යයක් සඳහා වන සිය සහයෝගය නැවතත් ප්‍රකාශ කළේය.

“මානුෂීය ආධාර කිසිදු බාධාවකින් තොරව සිවිල් වැසියන් වෙත ළඟා විය යුතුය,” ශ්‍රී ලංකාව පැවසූ අතර, ගාසා තීරය යථාතත්ත්වයට පත්කිරීම සහ නැවත ගොඩනැගීම තීරණාත්මක හදිසි අවශ්‍යතාවයක් ලෙස සැලකිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.