May 24, 2023

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ උපදෙස් මත නීති විරෝධී ආකාරයෙන් රට තුළට ඇතුළුවූ චීන ජාතිකයාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් නියෝග කර තිබේ.

අදාළ පුද්ගලයා විදෙස් ගමන් බලපත්‍ර දෙකක් සනතකයේ තබාගනිමින් මෙරටට පැමිණ තිබුණු අතර, පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබිණි.

මෙම චීන ජාතිකයා රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණේ පසුගිය 18 වන දින ය.

එහිදී ඔහු සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය.

මේ අතර ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ උපදෙස් මත ඔහුව මුදාහැරීමට පියවර ගෙන තිබුණු අතර, නැවත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ නියෝගයකට අනුව ඔහුවආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශයක්ද සටහන් කරගනු ලැබීය.

මේ අතර කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, ව්‍යාපාර, රැකියා, අධ්‍යාපනය සහ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම චීන පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ නීති රීති දැඩි ලෙස පිළිපදින ලෙසත් දේශීය ආගමික හා සංස්කෘතික සිරිත් විරිත්වලට ගරු කරන ලෙසත් දැනුම්දී ඇති බවයි.