November 5, 2025

තායිවානයට චීනයෙන් ආක්‍රමණයක් එල්ල වේද යන්න සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වා තිබේ.

ඒ අනුව ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් බලයේ සිටින තෙක් චීනය තායිවානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග නොගන්නා බවයි.

එවැන්නක් සිදුවුවහොත් එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වන ආකාරය චීන ජනාධිපති ෂී ජින් පිං හොඳින් තේරුම් ගෙන ඇති බව ද ට්‍රම්ප් පැවසුවේය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා දකුණු කොරියාවේදී චීන ජනාධිපතිවරයා හමුවිය.

එහිදී නායකයින් දෙපළ අතර පුළුල් සාකච්ඡාවටයක් ද පැවැති නමුත් එහිදී තායිවානය පිළිබඳව සාකච්ඡා නොකළ බව ට්‍රම්ප් පසුව ජනමාධ්‍ය වෙත පැවසීය.

CBS රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී චීනය හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් තායිවානය ආරක්ෂා කිරීමට එක්සත් ජනපද හමුදාවන්ට නියෝග කරන්නේ දැයි ට්‍රම්ප්ගෙන් විමසීමක් සිදු කළේය.

ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ ”එය සිදුවුවහොත් ඔබට එය සොයා ගත හැකි වනු ඇත” යනුවෙනි.

නමුත් එක්සත් ජනපද ප්‍රතිචාරය කුමක් විය හැකිදැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ අතර, ඔහුට තම රහස් හෙළි කළ නොහැකි බව පමණක් පැවසීය.