March 27, 2024

මීතොටමුල්ල කප්පම් සිද්ධියට අදාළව අත්හිටවූ සිරදඬුවමක් පැනවීමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග ගොනුකළ අභියාචනයක් අභියාචනාධිකරණයේ විභාගයට ඊයේ දින නියම කළේය.

ඒ අනුව, විනිසුරු ඩී.එන්. සමරකෝන් ප්‍රමුඛ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව අප්‍රේල් 30 වැනි දින විභාගයට ගැනීමට නියම කළේය.

2015 වසරේදී ව්‍යාපාරිකයෙකුට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ගොනුකළ අධිචෝදනා පත්‍රය සළකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඇමැති රණතුංග වරදකරු කරනු ලැබීය.

ඒ අනුව, ඔහුට කොළඹ මහාධිකරණය වසර 05කට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කළේය.

රුපියල් මිලියන 25ක ඩයක් ගෙවන ලෙසද අධිකරණය ඇමැතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

රණතුංග ඇමැතිවරයා සිය අභියාචනය හරහා ප්‍රකාශ කර ඇත්තේ, තමාගේ වරද සහ කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇති දඬුවම යළි සමාලෝචනය කර ඉවත් කිරීම සඳහා අභියාචනාධිකරණයේ අධිකරණ බලය ඉල්ලා සිටින බවයි.