October 6, 2026

ශ්‍රී ලංකාවට යූරියා පොහොර රැගෙන එමින් තිබූ නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය අසල මුහුදු ප්‍රදේශයේ සිරවී ඇතැයි වාර්තා වේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා සඳහන් කර ඇත්තේ, අදාළ නෞකාව මේ වන විට ඕමානයට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බවයි.

මෙම නෞකාව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, අදාළ නෞකාව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු කෙ‍රෙමින් පවතින බව ද අධ්‍යක්ෂවරයා පවසා ඇත.

මේ අතර, ඉදිරි මහ කන්නය සඳහා ප්‍රමාණවත් වන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 180,000ක් පමණ දැනටමත් දිවයින තුළ පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඉන් පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් පමණ මේ වන විටත් ගොවීන් අතර බෙදාහැර අවසන් කර ඇති අතර, බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබේ.

අදාළ පොහොර තොගය මේ වන විට ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතින බව පොහොර ලේකම් කාර්යාලය පවසා ඇත.