May 22, 2026

මෙරට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව, දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ සිය සේවා කාලය අවසන් කර ලබන ජූලි මාසයේදී නැවත මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්ය.

ඔහුගෙන් හිස්වන වොෂින්ටනයේ තානාපති ධුරය සඳහා වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

විදේශ අමාත්‍යාංශය හෝ ජනාධිපති කාර්යාලය විසින් මේ දක්වා මෙය ස්ථිර කර නොමැති වුවද, ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානයේ මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපති ලේකම් ධුරය සඳහා වඩාත් ගැළපෙන අයකු පත් කරගැනීමට එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට අවශ්‍ය වී තිබීම ඊට හේතුව බව පැවසේ.

සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි ආචාර්ය කුමානායක, 1997 වසරේදී ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරීවරයකු ලෙස රාජ්‍ය සේවයට එක් වූ දක්ෂ නිලධාරියෙකි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතමයකු වූ ඔහු, 2024 වසරේදී ජනාධිපතිවරයා විසින්ම මෙම තනතුර සඳහා තෝරාගනු ලැබීය.

කෙසේවෙතත්, පක්ෂය තුළ මතු වූ යෝජනාවකට අනුව ජනාධිපති ලේකම් ධුරය සඳහා ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කිරීමට නියමිත බව පැවසේ.

ඔහු දැනට ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන අතර, මීට පෙර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

මෙම පත්කිරීම් සිදු වුවහොත්, ජූලි මාසයේදී මහින්ද සමරසිංහ මෙරටට පැමිණි පසු ආචාර්ය කුමානායක ඇමෙරිකාවේ නව තානාපතිවරයා ලෙස වැඩ බාරගනු ඇත.

ට්‍රම්ප් පරිපාලනය සමඟ වෙළඳ සබඳතා දියුණු කරගැනීමට සාකච්ඡා සිදුවන මෙවැනි තීරණාත්මක වකවානුවක ඔහුට මෙම වගකීම පැවරෙනු ඇත.

මේ අතර, දේශපාලන ක්ෂේත්‍රයේ සහ විදේශ සබඳතාවල පවතින පුළුල් අත්දැකීම් හේතුවෙන්, මෙරටට පැමිණෙන මහින්ද සමරසිංහ ජාතික ජන බලවේග රජයේ ප්‍රධාන උපදේශක තනතුරකට පත් කිරීමට ද ඉඩ ඇති බව වාර්තා වේ.