November 14, 2026

දේශපාලන පෙරළියක් සනිටුහන් කරමින්, ජාතික ජන බලවේගය පාලනය කරන තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ සහාය ඇතිව සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 17ක් සහ විපක්ෂව ඡන්ද 17ක් ලැබී ඡන්ද සංඛ්‍යාව සම වීම හේතුවෙන්, සභාපතිවරයාගේ තීරක ඡන්දය භාවිත කරමින් අයවැය සම්මත කර ගැනීමට හැකිව ඇත.

මෙහි විශේෂත්වය වන්නේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි.

මීට පෙර නොවැම්බර් 4 වැනිදා පැවති ඡන්ද විමසීමේදී, අයවැයට පක්ෂව ඡන්ද 14ක් සහ විපක්ෂව ඡන්ද 17ක් ලැබීමෙන් වැඩි ඡන්ද තුනකින් අයවැය පරාජයට පත්විය.

පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අසනීප තත්ත්වයන් හේතුවෙන් නොපැමිණීම සහ විපක්ෂයේ එක් මන්ත්‍රීවරයකු නොපැමිණීම එම ප්‍රතිඵලයට බලපා තිබිණි. තණමල්විල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට ආසන 16ක් හිමිව තිබූ අතර, විපක්ෂයට සමස්තයක් ලෙස ආසන 18ක් හිමිව තිබිණි.

අයවැය විවාදය අතරතුර සභිකයින් අතර උණුසුම් වාද විවාද කිහිපයක් ද ඇති විය.