October 5, 2024

වත්මන් ආණ්ඩුව අතින් බරපතළ වරදක් සිදුනොවුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආසන 120ක සංඛ්‍යාවක් දිනාගැනීමේ හැකියාව ඔවුන් සතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

“පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විපක්ෂයේ සමහර පක්ෂ අගමැති අපේක්ෂකයන් පවා නම්කරලා. ඒ නම්කිරීම හරහා ඔවුන් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳ, විශේෂයෙන් මැතිවරණ පිළිබඳ තිබෙන අනවබෝධයයි. එවැනි පක්ෂ ආණ්ඩු කරන්න තබා විපක්ෂය බාර දෙන්නවත් සුදුසු නෑ. මීට පෙර හතර වතාවක් ජනපතිවරණය පවත්වා මාස 9 ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණ පවත්වා තිබෙනවා. ඒ තමයි 1989, 2010, 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණ. සෑම අවස්ථාවකම ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය විසින් පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබෙනවා. 1989 සහ 2010 පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්නේ මෙවර වගේම ජනපතිවරණය අවසන් වෙලා මාස තුනක් ඇතුළත. එවිට බලපෑම වැඩියි.”

“මෙවර ජනාධිපතිවරණයේ දී ලැබුණු ඡන්ද ඒ අයුරින්ම ලැබුණත් මාළිමාවට මන්ත්‍රී ධුර 105ක් තිබෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය ලැබූ ඡන්ද ඒ අයුරින්ම ලැබෙනවා. නැතිනම් සියයට 5ක් පමණ අඩු වෙනවා. නමුත් ප්‍රධාන විපක්ෂයේ අය පරාජයෙන් පසු මානසිකව වැටිලා පාර්ලිමේන්තු මැතිවරණයට උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ නිසා පරාජිත පක්ෂයේ ඡන්ද 1989 දී සියයට22ක්, 2010 දී සියයට33ක්, 2015 දී සියයට18ක්, 2020 දී සියයට42ක් අඩු වෙලා තිබෙනවා. මේ ප්‍රතිශත හදන කොට ජනාධිපතිවරණයේ දී සහාය දීලා පාර්ලිමේන්තු මැතිවරණයේ දී වෙනම තරග කළ පක්ෂ ලැබූ ඡන්දත් ගළපලා හදලා තිබෙන්නේ කියන එක විශේෂයෙන් කියන්න ඕනෑ. ඒ නිසා පරාජිත ප්‍රධාන පක්ෂ දෙකේම ඡන්ද සියයට25 බැගින් අඩු වේවි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. පරාජිත පක්ෂ දෙකේම ඡන්ද අඩුවෙන විට ජයග්‍රාහී පක්ෂයේ ඡන්ද වැඩිනොවුණත් ප්‍රතිශතය ඉහළ යනවා. ඒ නිසා ආණ්ඩුව විසින් බරපතළ දේශපාලන වැරැද්දක් නොකළොත් පහසුවෙන්ම මන්ත්‍රී ධුර 120කට යන්න මාළිමාවට පුළුවන්.”

42.31%
17.27%
32.76%