July 3, 2026

දිගින් දිගටම මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ‘නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී’ (Nation Lanka Finance PLC) සමාගමේ මූල්‍ය ව්‍යාපාරික බලපත්‍රය 2026 ජූලි 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ඒ අනුව, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ මෙම සමාගම ඈවර කිරීමට (වසා දැමීමට) කටයුතු කෙරෙනු ඇත.

නිරන්තරයෙන් සිදුවූ නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන්, විවිධ නියාමන මැදිහත්වීම්වලින් පසුව 2025 ජූලි 4 වනදා සිට මෙම සමාගම මහ බැංකුවේ විශේෂ පරිපාලනයක් යටතට පත් කර තිබුණි.

පසුගිය වසර පුරා සමාගම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම්, වෙනත් බලපත්‍රලාභී බැංකු හෝ මූල්‍ය සමාගම් සමඟ ඒකාබද්ධ කිරීම් සහ නව ආයෝජකයන් සම්බන්ධ කරගැනීම ඇතුළු උත්සාහයන් රැසක් ගත් නමුත්, ඉන් කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්ව නොමැති බව මහ බැංකුව සඳහන් කරයි. මේ හේතුවෙන්, තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශවයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමාගම ඈවර කිරීම හැර වෙනත් විකල්පයක් නොවූ බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ, රක්ෂිත තැන්පත්කරුවෙකු වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ 11ක් දක්වා වූ වන්දි මුදලක් ගෙවීමට නියමිතය. මෙයින් සමාගමේ සමස්ත තැන්පත්කරුවන්ගෙන් 99.1%කටම ඔවුන්ගේ සම්පූර්ණ තැන්පතු මුදල නැවත හිමිවන අතර, ඉතිරි 0.9%ක පිරිසට රුපියල් ලක්ෂ 11ක අර්ධ පියවීමක් හිමිවේ. ඔවුන්ගේ ඉතිරි හිඟ මුදල්, සමාගම ඈවර කිරීමේ ක්‍රියාවලියෙන් පසුව හිමිකම් ප්‍රමුඛතාවය මත පියවීමට කටයුතු කරනු ඇත.

වන්දි මුදල් ගෙවන දිනයන් සහ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර, නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමෙන් ණය ලබාගත් සියලුම ණයගැතියන්, තමන් ගෙවීමට ඇති හිඟ මුදල් අඛණ්ඩව එම සමාගම නමින් පවතින බැංකු ගිණුම් වෙතම බැර කළ යුතු බවට මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙයි.