November 3, 2026

බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) ලබාගැනීමට පැමිණි මහජනතාව හේතුවෙන් අදත් (03) දිනයේ දිවයින පුරා පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු (IRD) කාර්යාල අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.

කළුතර පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලය අසල විශාල පිරිසක් පෝලිම්වල රැඳී සිටි අතර, TIN සහතික ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් සහ අපහසුතාවයන් පිළිබඳව බොහෝදෙනෙක් චෝදනා කළහ.

අයදුම්කරුවන් කිහිපදෙනකු කියාසිටියේ තමන් උදෑසන සිට පෝලිම්වල රැඳී සිටින බවයි. තවත් පිරිසක් සඳහන් කළේ දින කිහිපයක් තිස්සේ අවස්ථා ගණනාවකදී කාර්යාලයට පැමිණියද කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වූ බවයි.

පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටියද, ඊයේ දිනයේ සිදුවූ පද්ධති බිඳවැටීමක් (system breakdown) හේතුවෙන් TIN සහතික ලබාගැනීමට නොහැකි වූ බවටද කිහිපදෙනෙක් චෝදනා කළහ.

තවත් පිරිසක් මැසිවිලි නැඟුවේ සේවයෙන් නිවාඩු ලබාගෙන කාර්යාලයට පැමිණියද, අමතර ලේඛන රැගෙන එන ලෙස හෝ වෙනත් දිනයක පැමිණෙන ලෙස දන්වමින් තමන්ව නැවත හරවා යැවූ බවයි.

පැවැති වර්ෂාපතනය මධ්‍යයේ වුවද මෙලෙස දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම පිළිබඳව මහජනතාව දැඩි කනගාටුව පළකළ අතර, මෙම තත්ත්වයට වහා විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

TIN සහතිකය ලබාගැනීමේ ප්‍රමාදය හේතුවෙන් රියැදුරු බලපත්‍ර සහ ආදායම් බලපත්‍ර ලබාගැනීම ඇතුළු වාහන සම්බන්ධ ගනුදෙනු කරගැනීමට බාධා පැමිණ ඇති බව පවසමින් ඇතැම් පිරිස් රජය විවේචනය කළහ.

ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව පරිපාලනමය ප්‍රමාදයන් නිසා දැනට මුහුණ දී සිටින දැඩි අපහසුතාවයන් සැලකිල්ලට ගෙන ඊට වහා මැදිහත් වන ලෙස එක් පුද්ගලයකු ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සෘජුවම ඉල්ලීමක් කළේය.

මහජනතාවට දිගින් දිගටම සිදුවන මෙම පීඩාව රජය කෙරෙහි පවතින ජනප්‍රසාදය පළුදුවීමට හේතු විය හැකි බවටද තවත් පිරිසක් අනතුරු ඇඟවූහ.

ශ්‍රී ලංකාවේ බදු රෙගුලාසිවලට අනුව, 2023 දෙසැම්බර් 31 දිනට හෝ ඊට පෙර වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සියලුම නේවාසික පුද්ගලයින්ට සහ 2024 ජනවාරි 01 වැනිදායින් පසු අවුරුදු 18 සම්පූර්ණ වන සියලුදෙනාට TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය වේ.

2026 නොවැම්බර් 01 වැනිදා සිට මූල්‍ය, වාණිජ සහ පරිපාලනමය ගනුදෙනු කාණ්ඩ අටක් සඳහා TIN සහතිකය අනිවාර්ය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ මෙලෙස අයැදුම්පත් ලබාගැනීමේ විශාල වර්ධනයක් සිදු වී ඇත.