May 16, 2026

ට්‍රම්ප් පරිපාලනය සහ ටෙහෙරානය (ඉරානය) අතර පැවැත්වෙන සාම සාකච්ඡා මධ්‍යයේ පකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතරතුර, ඔවුන් ඉරානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට පළ වූ වාර්තාවලින් පසුව, තමන් “පකිස්ථානය විශ්වාස නොකරන” බව ඇමරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් (Lindsey Graham) ප්‍රකාශ කළේය.

මෙම තොරතුරු පිළිබඳව දන්නා එක්සත් ජනපද නිලධාරීන් CBS News පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ, පකිස්ථානය විසින් ඉරාන මිලිටරි ගුවන් යානාවලට පකිස්ථාන ගුවන් හමුදාවට අයත් නූර් ඛාන් (Nur Khan) වැනි ගුවන් තොටුපළවල් භාවිතා කිරීමට ඉඩ දී ඇති බවයි.

එමඟින් ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමට ඉඩ ඇති බව ද ඔවුහු පැවසූහ.

සෙනෙට් විසර්ජන කාරක සභාව (Senate Appropriations Committee) හමුවේ සාක්ෂි දෙමින් සිටි ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් ග්‍රැහැම් සෙනෙට් සභිකයා ප්‍රශ්න කර සිටියේ, ඉරාන ගුවන් යානාවලට පකිස්ථානය තුළ මෙලෙස ඉඩ දීම පකිස්ථානය “සාධාරණ මැදිහත්කරුවෙකු” ලෙස කටයුතු කිරීමට අනුකූල වේද යන්නයි.

එහිදී හෙග්සෙත් කියා සිටියේ තමන් මෙම සාකච්ඡා මධ්‍යයට මැදිහත් වීමට අකමැති බවයි.

“මට මෙම සාකච්ඡා මැදට එන්න අවශ්‍යයි,” ග්‍රැහැම් ඊට පිළිතුරු දෙමින් පැවසීය.

“මම පකිස්ථානය පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඉරානයේ මිලිටරි වත්කම් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සැබවින්ම ඉරාන ගුවන් යානා පකිස්ථාන කඳවුරුවල නවතා තබා ගැනීමට ඉඩ දී තිබේ නම්, එයින් මට හැඟී යන්නේ මැදිහත් වීම සඳහා අප වෙනත් අයෙකු සෙවිය යුතු බවයි.” ඔහු පැවසුවේය.