January 14, 2024

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ පරිපාලන ගොඩනැගිල්ලේ අකුණු සන්නායකයක කොටසක් කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

අකුණු සන්නායකයේ තඹ වයර් පටි කොටසක් කපාගෙන යෑමේ සිදුවීම පිළිබඳ එහි ආරක්ෂක අංශය විශේෂ පරීක්ෂණයක් සහ සෝදිසි කටයුත්තක නිරත වූ බවද වාර්තාවේ.

මෙහි ඇති ඉතා බරපතළ තත්ත්වය වන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, තොග ගබඩා පර්යන්ත සමාගමේ, ඉන්දියානු ඔයිල් සමාගමේ සහ මෑතකදී ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ සයිනොපැක් ආයතනයේ සියලුම දත්ත ගබඩා පවත්වාගෙන යමින් දත්ත පද්ධති අංශය ක්‍රියාත්මක වනුයේද මෙම ගොඩනැගිල්ලේ පහළ මාලයේ වීමය.

මීට වසර දහයකට පමණ පෙර එම දත්ත පද්ධති අංශයට අකුණු සැර වැදීම හේතුවෙන් එහි ප්‍රධාන දත්ත ගබඩා සර්වර දෙකක් මුළුමනින්ම විනාශයට පත්වූ අතර ඒවාට රක්ෂණ සමාගම විසින් වන්දි ලබා දී ඇත්තේ ද අඩු තක්සේරු මිල ගණන්වලට බව වාර්තා වේ.

මෙම වකවානුව තුළ බස්නාහිර පළාතට ද අකුණු සහිත ගිගුරුම් සහිත වැසි විටින් විට දක්නට ලැබේ.

විශ්වසනීය අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වූයේ යම් හෙයකින් එවැනි බලපෑමක් ඇති වී මෙම දත්ත පද්ධතියට බලපෑමක් ඇති වුවහොත් හෝ එමගින් යම් ගිනි ගැනීමක් සිදුවුවහොත් පද්ධතිය ක්‍රියාකාරීත්වය ක්‍රියාවට නැංවීමට තිබෙන ආරක්ෂක පද්ධතිය පිහිටා ඇත්තේ ද මෙම දත්ත පද්ධති අංශයේම පරිගණක සර්වර ස්ථාපනය කර ඇති ගබඩා කාමරයේම බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳ අප එම ආයතනයේ සේවකයන්ගෙන් විමසූ විට ඔවුන් පවසා සිටියේ, වර්තමාන ආරක්ෂක කළමනාකාරවරයා ආයතනයේ ප්‍රධාන පිවිසුම් මාර්ගවල ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශයේ සේවකයන් යොදවා සිටිය ද, ආයතනයේ ප්‍රධාන ආරක්ෂාව සැපයිය යුතු පෙට්‍රල්, නැප්තා වැනි වහා ගිනි ගන්නා ඉන්ධන ගබඩා කර ඇති තෙල් ටැංකි රාශියක් පිහිටා ඇති කලාප හය,හත,අට යන ප්‍රදේශයන්ට කිහිපවිටක්ම හීන් ඇළ ප්‍රදේශයෙන් සොරුන් ඇතුළු වී ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ රැහැන් කපාගෙන යෑම් අවස්ථා කිහිපයකදීම වාර්තා වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් හිටපු සභාපති/කළමනාකාර අධ්‍යක්ෂකවරයා විසින් ආයතන මට්ටමින් හා ත්‍රිපුද්ගල කමිටු මගින් පරීක්ෂණ පැවැත්වුවද එම සමාගමේ ඔහුට හිතෛෂී විනය කමිටු නිලධාරීන් විසින් සහ විනය බලධරයා විසින් එම පරීක්ෂණ වාර්තා යට ගසා ඇති බව ද සේවකයෝ පවසති.

කෙසේවෙතත් වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා ද හිටපු ආරක්ෂක අංශ නිලධාරියකු බව පැවසේ.

රටට සුවිශේෂී මෙවැනි ආර්ථික මර්මස්ථානයක යම් කඩාකප්පල්කාරී චේතනාවකින් කිසියම් හෝ සිදුවීමක් වීමට ප්‍රථම ආයතනයේ ආරක්ෂක අංශයේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුවිය යුතු බව එහි සේවකයෝ අවධාරණය කරති.