May 30, 2024

කුලියාපිටිය බස් නැවතුම්පළේ රියදුරන් සහ වෙළෙඳුන් මෙන්ම ලංගම සේවකයන් ‘නිහඬ ඝාතකයෙක්’ ලෙසින් හඳුන්වන අධි රුධිර පීඩනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පසුගියදා සිදුකළ සෞඛ්‍ය පරීක්‍ෂණයකදී අනාවරණ වී තිබේ.

එම නිලධාරීන්ට අනුව පරීක්‍ෂණයට ලක් වූ සියලුම ලංගම සේවකයන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති අතර, ඔවුන් හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇති බව පෙනීගොස් තිබේ.

මෙම සොයාගැනීම්වලින් පසු ප්‍රදේශයේ සියලුම ලංගම සේවකයන්ට සහ පෞද්ගලික බස් රථ හිමියන්ට විධිමත් වෛද්‍ය පරීක්‍ෂණ සිදුකිරීම සඳහා වෛද්‍ය සායනයක් ළඟදීම පැවැත්වීමට සැලසුම් කර ඇත.

වැඩසටහන සංවිධාන කරන්නේ කේ.ඒ. නිලන්ති හෙද සොයුරිය , මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජය වන්නිනායක, ස්ථානභාර නිලධාරී සමිත් කුරේ සහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායමයි.

හඳුනාගත් අධි අවදානම් කණ්ඩායමේ සෞඛ්‍ය ගැටළු විසඳීම සහ ප්‍රජාව තුළ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙමගින් අරමුණු කරයි.