September 2, 2026

ක්‍රීඩා ජනමාධ්‍යවේදය සහ අන්තර්ජාතික ජනමාධ්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමේ අරමුණින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සිසුන් 160 දෙනකු සඳහා විශේෂ අධ්‍යාපනික ක්ෂේත්‍ර සංචාරයක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, සිය ආචාර්ය මණ්ඩලය ද සමඟින් පැමිණි මෙම සිසුන් කණ්ඩායම ශ්‍රී ලංකා සහ ඉන්දියානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර පැවැති දෙවැනි සිව්දින තරඟය අතරතුර කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත ගිය බවයි.

එහිදී ක්‍රිකට් වාර්තාකරණය, ක්‍රීඩා ඡායාරූපකරණය සහ අන්තර්ජාතික ජනමාධ්‍ය මෙහෙයුම් කළමනාකරණය පිළිබඳව ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරත වූ සිසුන්, මාධ්‍ය මැදිරියේ (press box) කටයුතු සිදුකෙරෙන ආකාරය, සජීවී ක්‍රීඩා වාර්තාකරණය සහ ඡායාරූපකරණය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබාගෙන තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය විසින් ‘ක්‍රීඩා මාධ්‍යවේදයේ වෘත්තීය භාවිතයන්’ පිළිබඳව දැනුවත්කිරීමක්ද පවත්වා ඇති අතර, අනතුරුව ප්‍රශ්නෝත්තර වාරයක් ද පවත්වා තිබේ.

මීට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් තරඟ ආවරණය කරන ක්ෂේත්‍රයේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් ඇතුළු ජනමාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කර ක්‍රීඩා මාධ්‍යයේ ඇති අභියෝග සහ ප්‍රමිතීන් පිළිබඳව වටහා ගැනීමට ද සිසුන්ට අවස්ථාව හිමිකර දී ඇත.