June 20, 2023

පසුගිය වසරේ ඇති වූ විදුලි අර්බුදයට හේතුව නව උත්පාදන යන්ත්‍ර නොමැති වීම මිස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවේයැයි, විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර සඳහන් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථකත්වය හේතුවෙන් පසුගිය වසරේ විදුලි කප්පාදු කිරීමට රජයට සිදු වූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඇමැතිවරයා පවසයි.

2014 වසරේ සිට විදුලි උත්පාදනය කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය වසරේ පැය 12 – 13 අතර කාලයක් විදුලිය විසන්දි වූ අතර, ඊට හේතුව වන්නේ 2015න් පසු බලාගාර ඉදිනොකිරිම බවද ඇමැතිවරයා පවසයි.

ඒකක 90ට අඩු විදුලිය භාවිත කරන්නන් සඳහා සියයට 27ක විදුලි ගාස්තු අඩු කිරීමක් යෝජනා කර ඇති බවත්, යෝජනාවට අනුව ඒකක 0-30, ඒකක 30-60 සහ ඒකක 60-90 යන කාණ්ඩ තුන යටතේ පරිශීලකයන්ට ඔවුන්ගේ බිල්පත් මත සියයට 27ක සහනයක් ලබා දෙනු ඇති බවත් ඇමැතිවරයා පවසයි.

එබැවින් ඒකක කුඩා ප්‍රමාණයක් භාවිත කරන අයට සහන සැලසීම සඳහා ජූලි මාසයේදී ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා පෙන්වාදෙයි.

මතිමතාන්තරවල වෙනසක් තිබුණද ආර්ථිකය සහ රට ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහයට ආණ්ඩු පක්ෂය අඛණ්ඩව සහය දක්වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.