December 13, 2023

මෙරට විදුලිබල ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අභියෝග කර තිබේ.

පසුගියදා අනුමත කරන ලද කිලිනොච්චිය සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ විදුලි ව්‍යාපෘති පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කණස්සල්ල පළ කළේය.

ඉන්ධන, ගල් අඟුරු සහ සූර්ය බලශක්තිය වැනි විවිධ බලාගාර ව්‍යාපෘති සඳහා විවෘත ටෙන්ඩර් නිකුත් නොකළේ මන්දැයි ප්‍රශ්න කළ දිසානායක මන්ත්‍රීවරයා කිලිනොච්චියේ පූනකරි වැවේ අලුතින් අනුමත කරන ලද මෙගාවොට් 700 සූර්ය බල බලාගාරය සම්බන්ධයෙන් විශාල මූල්‍ය දූෂණයක් සිදුව ඇති බවට ද චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් මතුව ඇති කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසට එජාතික ජන බලවේගයේ නායකයා ඇමැති කංචන විජේසේකරගෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් ඇමැති කංචන විජේසේකර විවෘත විවාදයකට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අද අභියෝග කළේය.

දිසානායක මන්ත්‍රීවරයා එම අභියෝගය පිළිගත්තේ ඇමැතිවරයා මීට පෙර අවස්ථාවක චෝදනා එල්ල කළ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ තමන් නියෝජනය කරමින් එම විවාදයට පැමිණෙන බව දන්වමිනි.

දිසානායක මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් ඇමැති කංචන විජේසේකර කියා සිටියේ දිසානායක මන්ත්‍රීවරයා විවාදයට මුහුණ දෙන්නේ නම් පමණක් තමන් ඊට සහභාගී වන බවයි.

වසන්ත සමරසිංහ නියෝජනය කරන විවාදයකට තමා සහභාගි නොවන බවත්, තමාටද වෘත්තීය සමිති නායකයකු ගෙන්වා ගතහැකි බවත්, තමන්ට අවශ්‍ය වන්නේ දිසානායක මන්ත්‍රීවරයාට මුහුණ දීමට බවත් ඇමැතිවරයා පැවැසීය.