May 30, 2023

ඇතැම් ජනමාධ්‍ය වාර්තා හේතුවෙන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට චෝදනා කරමින්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හරහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමතිවරයා කථානායකවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

ට්විටර් පණිවිඩයක් තබමින් අමාත්‍ය විජේසේකර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට සහ ප්‍රචාරය කිරීමට සම්බන්ධ අදාළ පුද්ගලයන් සහ මාධ්‍ය ආයතන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ඇතුළු වන විදේශීය ආයතනවලට ඉන්ධන පිරවුම්හල් ලබාදීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළකරමින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට, පුවත්පත් සහ රූපවාහිනී නාලිකාවකින් සමන්විත දේශීය ජනමාධ්‍ය ආයතනයකට මන්ත්‍රීවරයා චෝදනා කරයි.