November 9, 2026

හල්දුම්මුල්ල හාල්අටුතැන්න ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයට ඊයේ (08 වැනිදා) දිවා කාලයේ ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් අටපිරිකර 28ක් සහ රුපියල් 43000ක මුදලක් සොරකම් කර පලාගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා දානමය පින්කමක් සඳහා විහාරස්ථානයෙන් බැහැරව සිටි අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙදින දහම් පාසලද පැවැති අතර දහම් පාසල් ද ඇරී දරුවන් පිටව ගොස් ඇති අවස්ථාවේදී මෙම සොරකම සිදුකර තිබේ.

මේ වනවිට සොරුන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් හඳුනාගෙන ඇති බවද සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකි වන බවද හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති අශෝක ඉඳුනිල් රත්නායක පැවසීය. හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

(උපුටාගැනීම – අරුණ පුවත්පත)