November 1, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි හෙට 2026.11.02 ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

සතියේ දින පහේම මෙම ගමින් ගමට රැස්වීම් දිවයින පුරා පවත්වන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් අතර පැවති රැස්වීමකදීය.

ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් බොරු පොරොන්දු පිළිබඳව මෙන්ම මෙම ආණ්ඩුව විසින් සිදුකරන ලද වංචා හා දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

විශේෂයෙන්ම කන්ටේනර් 323 පිළිබඳ ආන්දෝලනය, බාල ගල්අඟුරු, මහ බැංකුවට හැකරුන් පැනීම, වැරදි ගිණුම් වලට මුදල් යැවීම වැනි කරුණු පිළිබඳව ජනතාවට නැවත නැවතත් මතක් කරන ලෙස ඔහු එහිදී උපදෙස් දුන්නේය.

තවද මැතිවරණ වේදිකාවල ලබාදුන් පොරොන්දු විශේෂයෙන්ම සෞඛ්‍ය ,අත්‍යවශ්‍ය භාණ්ඩ හා පාසැල් උපකරණවල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳව හා තවත් පොරොන්දු රාශියක්ද දී ඇති බවත්, මේවා පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.