August 4, 2026

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි යැයි චෝදනා කරමින් හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අභියෝගයට ලක්කරමින් එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළේය.

පී. කුමාරන් රත්නම්, දමිත් තොටවත්ත සරත් දිසානායක, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සතොස ආයතනයේ සේවකයන් සිය දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට, හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් ශාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනුකර තිබිණි.

එම නඩු ගොනුකර තිබෙන ආකාරය අල්ලස් පනතට පටහැනි බවත් ඒ අනුව ඒවා නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඉන් අනතුරුව එය විභාග කළ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළහ.