May 28, 2024

රුපියල් 1700ක දෛනික අවම වැටුප ගෙවීමට අපොහොසත් වන ප්‍රාදේශීය වැවිලි සමාගම්වල බදු කාලය අවසන් කරන බවට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් අනතුරු ඇඟවීය.

නිවේදනයක් නිකුත් කරමින් ඇමැතිවරයා කියා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1700ක් ලබාදීමට ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට ඇමැතිමණ්ඩලය විසින් නියෝග කර ඇති බවයි.

ඒ, 2024 අප්‍රේල් 21 දින නිකුත් කරන ලද අංක 2385/14 දරණ ගැසට් පත්‍රය පැනවීමෙන් අනතුරුවය.

”අවම වැටුප නොගෙවන ප්‍රාදේශීය වැවිලි සමාගම්වල කල්බදු අවසන් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා. තේ වතු වඩා හොඳින් කළමනාකරණය කළ හැකි ආයතන වෙත බදුදීම සහ ඒවා පැවරීම සඳහා, අවශ්‍ය නම් නව නීති සම්පාදනය කිරීමට රජය සූදානම්,” යැයි ඔහු පැවසීය.

රජය සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ දැරුවද ප්‍රාදේශීය වැවිලි සමාගම් සහභාගී වීමට අකමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව තොණ්ඩමන් ඇමැතිවරයා පැවසීය.

“මෙම අකමැත්ත අවම වැටුපකට සේවකයන්ගේ ශ්‍රමය සූරාකෑම ඇනහිටීමේ හෝ ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් ලෙස ද සැළකිව හැකියි. 2024 අප්‍රේල් 31 වැනි දින පඩිපාලක මණ්ඩලයේ මූලික ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔවුන්ට ලබා දී ඇති දින 15ක කාල සීමාව තුළ විධිමත් හා පිළිගත හැකි යෝජනා ගොනු කිරීමට ඔවුන් අපොහොසත් වුණා. ඔවුන්ගේ අඩු ඵලදායිතාව සඳහා වලංගු හේතු දැක්වීමට ද ඔවුන් නිරන්තරයෙන් අසමත් වී තිබෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.

“මෙය විශේෂයෙන්ම සළකා බලන්න වෙන්නේ කුඩා තේ වතු හිමියන් දැනටමත් ඔවුන්ගේ සේවකයන්ට නව අවම දෛනික වැටුප වන රුපියල් 1700ට වඩා වැඩි මුදලක් ගෙවමින් සිටින නිසා. වෘත්තීය සමිති නායකයකු සහ කැබිනට් ඇමැතිවරයකු ලෙස, ප්‍රාදේශීය වතු සමාගම් යාන්ත්‍රිකකරණය හරහා තම ඵලදායිතාව සහ අගය එකතු කිරීම, විවිධාංගීකරණය සහ වෙනත් මාර්ග ඔස්සේ ආදායම වැඩි කිරීමට අවධානය යොමු කළ යුතු බවට මම යෝජනා කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ නායකත්වය සහ ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සහ තේ කර්මාන්තය නඟා සිටුවීමට ඔහු දක්වන කැපවීම පිළිබඳව ද තොණ්ඩමන් ඇමැතිවරයා ප්‍රශංසා කළේය.

එමෙන්ම සියලුම වතු කම්කරුවන්ට යහපත් සහ සාධාරණ ජීවන වැටුපක් ලබාදීමට ඇමැති මනූෂ නානායක්කාර දක්වන අවංකභාවය සහ කැපවීම පිළිබඳව ද ඔහු ප්‍රශංසා කළේය.