May 23, 2023

රජයේ විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර ආරක්‍ෂක ප්‍රශ්නවලට මුවා වී ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට රජය වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සැළකිවයුතු කාරයභාරක් ඉටුකරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

උපකුලපතිවරුන්ගේ ඉල්ලීම අනුව බව පවසමින්, විශ්වවිද්‍යාල පරිශ්‍ර අවට ආරක්ෂක අංශ සාමාජිකයන් වැඩි වශයෙන් යෙදවීම බරපතල සැකයට කරුණක් බවද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පෙන්වාදෙයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ විශ්වවිද්‍යාල තුනක උපකුලපතිවරුන් අතර පසුගියදා පැවැති හදිසි රැස්වීමෙන් අනතුරුව කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව හා මුර සංචාර වැඩිකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධුෂාන් චන්ද්‍රජිත් මේ බව සඳහන් කරයි.

“කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් මහජන ආරක්ෂක ඇමැතිවරයා හමුවී විශ්වවිද්‍යාලවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව අපට දැනගන්නට ලැබුණා. මේ රැස්වීම පිටුපස ඇති සැබෑ අරමුණ පිළිබඳව අපට බරපතල සැකයක් පවතිනවා. ඇමැතිවරයා මේ උපකුලපතිවරුන් තිදෙනා පමණක් හමුවුණේ ඇයි? ආරක්ෂක ප්‍රශ්න ගැන සාකච්ඡා කළා නම්, අනෙක් උපකුලපතිවරුන් නොකැඳෙව්වේ ඇයි? විශේෂයෙන්ම මෙම උපකුලපතිවරුන් තිදෙනා කැඳවීමට හේතුව, මේ විශ්වවිද්‍යාල තුන තුළ ප්‍රධාන වශයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මක වීම බව අපගේ අදහස. උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කාර්යාලය පිහිටා තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ.”

මේ අතර විශ්වවිද්‍යාල ආචාරය්වරුන්ගේ සංගමය(FUTA) පෙන්වාදෙන්නේ, සිය නිරීක්ෂණවලට අනුව විශ්වවිද්‍යාල තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් එවැනි බරපතල ගැටළු නොමැති බැවින් මෙම රැස්වීමේ අරමුණ අපැහැදිලි බවයි. FUTA සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පවසන්නේ, “අපි මෙම රැස්වීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්වලින් විමසීමක් කළා. ඔවුන් පැවසුවේ එවැනි රැස්වීමක් පිළිබඳව තමන් නොදන්නා බව. විශ්වවිද්‍යාල තුළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙතරම් බරපතළ ගැටලු මතුව ඇති බවක් තමන් නිරීක්ෂණය කර නැති බව ඔවුන් පෙන්වාදුන්නා. අභ්‍යන්තර ආරක්‍ෂාවට සෘජුව බලපාන කිසිවක් කිසිදු විශ්වවිද්‍යාලයකින් වාර්තා වී නොමැති බව අපට දැනගන්නට ලැබෙනවා. ඉතින් උසස් අධ්‍යාපන ක්‍රමයට අදාල නැති ඇමති කෙනෙක් එක්ක එහෙම රැස්වීමක් තියන්න කිසිම හේතුවක් නෑ. විශ්වවිද්‍යාල අභ්‍යන්තර සාමයට සෘජුවම බලපාන නිසා, අපි මේ වගේ දේවල් ගැන බොහොම අවධානයෙන් ඉන්නවා.” යනුවෙනි.

(themorning)