February 26, 2024

රුසියානු සංචාරකයන් සැළකිව යුතු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ නියැළෙන බවත් ලියාපදිංචි නොකළ නීතිවිරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන බවටත් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමෙන් දින කිහිපයකට පසු, සියලුම දිගු කාලීන යුක්‍රේන-රුසියානු සංචාරකයන් අනිවාර්යයෙන් පිටත් කළ යුතු බව දන්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යංශයට චක්‍රලේඛයක් යොමුකර තිබිණි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධානියා සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නිකුත් කර ඇති එම චක්‍රලේඛය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ නියෝග කර තිබුණේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ආතතියක් ඇතිවීම වැළැක්වීමේ කඩිනම් පියවරක් ලෙසය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ චක්‍රලේඛය මගින් දන්වා තිබුණේ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව ජීවත් වන රුසියානු සහ යුක්රේන සංචාරකයන් දින 14ක් ඇතුළත පිටව යා යුතු බවයි.

මේ යටතේ ශ්‍රී ලංකාවේ වෙසෙන දිගු කාලීන යුක්රේන සහ රුසියානු සංචාරකයන් මාර්තු 7 වැනිදා වන විට පිටත්ව යෑමට නියමිතව තිබිණි.

මේ අතර, කඩිමුඩියේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පූර්ව කැබිනට් අනුමැතියකින් තොරව නිකුත් කර ඇති එම චක්‍රලේඛය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි.

මීට පෙර සංචාරකයන්ට ලබාදී තිබූ වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භවීමෙන් පසු තම මව් රටවලට ගුවන් ගමන් නවතා දැමීමෙන් පීඩාවට පත් වූ යුක්රේනියානුවන්ට සහ රුසියානුවන්ට 2022 පෙබරවාරි 28 වැනිදා සිට කල් ඉකුත් වූ සංචාරක වීසා සඳහා දඬුවම් පැනවීමකින් තොරව සම්පූර්ණ වසර දෙකක කාලයක් නොමිලේ වීසා බලපත්‍ර මත ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර දී තිබූ බව චක්‍රලේඛයේ සඳහන් වේ.

රුසියානු යුක්රේන ගැටුම තවදුරටත් පවතින නමුත් දැන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් පවතින අතර යුක්රේන ජාතිකයන්ට ද ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට සහ පිටවීමට පහසුකම් ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

එහි දැක්වුණේ තවදුරටත් එලෙස වීසා දීර්ඝ කිරීම අවශ්‍ය නොවන බව නිරීක්ෂණය වී ඇති අතර ඉහත කාණ්ඩවලට අයත් රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට මෙරටින් පිටවීම සඳහා 2024 පෙබරවාරි 24 සිට 2024 මාර්තු 7 දක්වා දින 14ක කාලයක් ලබා දෙන බවයි.

මෙම චක්‍රලේඛය නිකුත්වීම ගැන නොදැන සිටි ජනාධිපතිවරයා කැබිනට් අනුමැතියකින් තොරව එවැනි ලේඛනයක් නිකුත් කළේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළ අතර ආගමන විගමන ප්‍රධානියාගෙන් පැහැදිලි කිරීමක් ද ඉල්ලා තිබේ.

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ද එම ලිපිය පිළිබඳ දැනුවත් වී ඇත්තේ එය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලැබුණු පසුවයි.

කෙසේවෙතත් ඇමැතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව රැඳී සිටින ඇතැම් රුසියානු සංචාරකයන් දකුණේ ලියාපදිංචි නොකළ සහ නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යෑම පිළිබඳ බරපතළ කණස්සල්ලක් ඇති කර තිබෙන බවයි.

දේශීය ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත තම අමාත්‍යංශය ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ බවත් බලධාරීන් විසින් සිදුකළ වැටළීම්වලින් පසුව රුසියානු ජාතිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරවලින් කිහිපයක් ලියාපදිංචි වී නොමැති බව සහ ඔවුන් බදු නොගෙවන බවත් පෙනීගිය බවද ඔහු පවසා ඇත.

වැලිගම සහ ආරුගම්බොක්ක යනු බලධාරීන් විසින් හඳුනාගෙන ඇති එවැනි ප්‍රධාන ස්ථාන දෙකක් වූ අතර, එහිදී රුසියානුවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් ප්‍රදේශවාසීන්ට දැඩි තහනමක් සහිත වීම සහ ‘සුදු සම ඇති අයට’ පමණක් වෙන්වීම හේතුවෙන් එවැනි බොහෝ ආයතන සමඟ ආරවුල් පැනනැගී තිබිණි.

සමහර ව්‍යාපාරවලට බාර් සහ අවන්හල් පවත්වාගෙන යෑම සහ ස්කූටර් සහ ත්‍රිරෝද රථ කුලියට ගැනීම සහ ජල ක්‍රීඩා පැවැත්වීම පවා ඇතුළත් වී තිබිණි.

සාමාන්‍යයෙන් රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් විසින් මෙම ස්ථාන පිළිබඳ දැනුවත්වන බැවින් ශ්‍රී ලංකාවට එවැනි ව්‍යාපාරවලින් ප්‍රතිලාභ නොලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පසුබෑම් මධ්‍යයේ වුවද, රුසියාව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම වෙළඳපොළක් ලෙස පවතින අතර මොස්කව් සහ කොළඹ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට කිසිදු බාධාවක් ඇති නොවීමට රජය උත්සාහ කරමින් සිටියි.

මේ අතර ජනමාධ්‍ය වාර්තා පළවී තිබුණේ 2022 පෙබරවාරි 28 වැනි දින සිට රුසියානු සහ යුක්රේන සංචාරකයින් සැළකිව යුතු පිරිසක් තම සංචාරක වීසා බලපත්‍ර කාලානුරූපව දීර්ඝ කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජීවත් වන බවයි.

මෙම කාල සීමාව තුළ ආසන්න වශයෙන් රුසියානුවන් 11,463ක් සහ යුක්රේනියානුවන් 3,993 දෙනෙකුට වීසා දීර්ඝ කිරීම් ලබා දී තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඇමැති මණ්ඩලය මෙම සංචාරකයන් සඳහා බහුවිධ දීර්ඝ කිරීම් ලබා දී ඇත.

කෙසේවෙතත්, මෙම අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ විධිමත් තීරණයක් නොලැබීම හේතුවෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පීඩාවට පත් රුසියානු සහ යුක්රේන සංචාරකයන් නව ප්‍රතිපත්තිය ගැන දැනුවත් කරන ලෙස දන්වා යවා තිබිණි.