July 30, 2025

ස්වභාව රක්ෂිතයේ කොටසක් එහි ආරක්ෂිත තත්ත්වයෙන් ඵලදායී ලෙස ඉවත් කරමින් වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ සීමා වෙනස්කළ 2024 මැයි 6 දිනැති අංක 2383/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරීමට තීරණය කර ඇති බව රජය, නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

විල්පත්තුව වෙඩිතලතිව් රක්ෂිතයේ හෙක්ටයාර 168ක් හිටපු වනජීවී ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙලෙස වෙන්කරනු ලැබුවේ ඉස්සන් වගාකෙරෙන ගොවිපොළක් වෙනුවෙන් බව පවසමිනි.

එම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් වනජීවී සහ සොබාදහම් ආරක්ෂණ සංගමය (WNPS) විසින් 2024 ජුනි 05 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.

පාරිසරික හානිය සහ ක්‍රියා පටිපාටි අක්‍රමිකතා යන හේතු දක්වමින් අදාළ පෙත්සම මගින් එම ගැසට් පත්‍රයට අභියෝග කරන ලද අතර, වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ, විශේෂයෙන් එහි කඩොලාන, වගුරු බිම් සහ ජෛව විවිධත්වය සඳහා තීරණාත්මක වන සහ දේශීය සමාජ-ආර්ථික යහපැවැත්මට සහාය වන පාරිසරික වැදගත්කම අවධාරණය කර ඇත.

2024 ජුනි 27 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ගැසට් පත්‍රයේ ක්‍රියාකාරීත්වය සහ වලංගුභාවය අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළ අතර, පවතින තත්ත්වයම පවත්වාගෙන යන ලෙස ඇමැතිවරයාට සහ සියලු වගඋත්තරකරුවන්ට නියෝග කර තිබිණි.

පෙත්සම්කරුගේ ස්ථාවරය වූයේ අමාත්‍යවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය විනිවිද භාවයකින් සහ නිසි ක්‍රියා ටිපාටියකින් තොර වීම නිසා එහි නීත්‍යානුකූලභාවය සහ සංරක්ෂණයට ඇති බලපෑම පිළිබඳව බරපතළ කනස්සල්ලක් මතුවන බවයි.

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, එකී ගැසට් පත්‍රය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත්, 2024 මැයි මස 2383/05 දරණ ගැසට් පත්‍රය අවලංගු කිරීමට පරිසර අමාත්‍යවරයා මේ වන විට නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

2024 මැයි 6 දිනැති අංක 2383/05 දරන ගැසට් පත්‍රය අවලංගු කරමින් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම තහවුරු කිරීම සඳහා නඩුව 2025 ඔක්තෝබර් 10 වැනි දිනට නැවත කැඳවීමට නියම කර ඇත.