January 25, 2026

සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් බවට පත් කිරීම සඳහා රජයේ පාර්ශවයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ඒ සම්බන්ධයෙන් ගැටලු මතුකරමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම අරමුදල සම්බන්ධයෙන් එළඹීමට සූදානම් වන හදිසි ප්‍රතිපත්ති වෙනස සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ එළඹ ඇති එකඟතා බලපා තිබේද යන්න තමන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටින බවයි.

එමෙන්ම 2025 අග භාගයේ සිට මෙම යෝජනාව සම්බන්ධයෙන් සිදු කරන ලද රක්ෂණ ගණිතමය අධ්‍යනය හෝ කැබිනට් මට්ටමේ සාකච්ඡා මොනවාද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එවැනි සාකච්ඡා පැවැත්වූයේ නම් එහිදී සාකච්ඡා කළ කරුණු සහ එළඹුනු තීරණ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන්නේ දැයි ඔහු මුදල් අමාත්‍යවරයාගෙන් විමසුවේය.

ජීවිත කාලය පුරා හිමිවන විශ්‍රාම වැටුප සහ 2023 වසරේ ලැබූ 13% ක ප්‍රතිලාභය සහිත වත්මන් ක්‍රමය අතර සංසන්දනාත්මක විශ්ලේෂණයක් රජය මගින් සිදු කර ඇතැයි ද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා විමසා සිටියේය.