October 6, 2026

නිලාවේලී ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් නවදෙනෙකු අධිකරණය මගින් වරදකරුවන් ලෙස තීන්දු කර තිබේ.

අදාළ සැකකරුවන් එම පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණි.

ඒ අනුව ත්‍රිකුණාමලය කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලද එම සිදුවීමට අදාළ වාර්තාවකට අනුව, මෙම පහරදීම සිදුව ඇත්තේ 2025 මාර්තු 31 වැනි දින නිලාවේලී පොලිස් වසම තුළදීය.

එහිදී පොලිසිය සඳහන් කර ඇත්තේ, අදාළ නිලධාරීන් දෙදෙනා රථවාහන රාජකාරීවල යෙදී සිටියදී අධික ශබ්ද නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කළ මෝටර් රථයක් සිය භාරයට ගෙන ඇති බව සහ නිලධාරීන් එම මෝටර් රථය පොලිස් ස්ථානය වෙත රැගෙන යමින් සිටියදී, පිරිසක් පැමිණ ඔවුන්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.

නීතිවිරෝධී අන්දමින් රැස් වූ පිරිසක් ලෙස ක්‍රියා කරමින් සහ අපරාධමය බලය යොදමින්, මෙම පිරිස අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදු කර ඇති අතර නිලධාරීන් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඇත.

එමෙන්ම ඔවුන්ගේ දේපළවලට සහ පොලිස් නිල ඇඳුමට ද සැකකරුවන් හානි සිදු කර තිබේ.

නිලාවේලී පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, සැකකරුවන් ප්‍රහාරය එල්ල කළ ස්ථානයට පැමිණීමට භාවිතා කළ බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව, සැකකරුවන් නවදෙනාට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇත.

ඒ අනුව, අධිකරණය විසින් සැකකරුවන් වරදකරුවන් කර ඇති අතර, ඔවුන්ට දඩ සහ වන්දි ගෙවන ලෙසද නියෝග කර තිබේ.

නිල ඇඳුම් පැළඳ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දෙනු ලබන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමඟ පොලිසිය විසින් මෙම සිද්ධියට පසුබිම වූ වටපිටාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කර තිබිණි.