April 4, 2023

පවතින බරපතල ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ පුනර්ජීවනය ලැබීමට අවශ්‍ය ප්‍රධානම මාර්ගය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය පහසුකම බව රජයේ පිළිගැනීම වී තිබේ. IMF ණය අනුමතවීමත් සමග අන්තර්ජාතික පාර්ශ්වකරුවන් විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය පහසුකම් ලබාදීමට ඉදිරිපත්වනු ඇතැයි රජය විශ්වාස කරයි. එහෙත් අවධානය යොමුකළ යුතු කාරණය වන්නේ, එම අපේක්ෂාවන්ට අනුවද, ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලැබීමට නියමිත බහුතර මූල්‍ය පහසුකම්වලින් බහුතරය ‘ණය’වන බවයි. එමනිසා රටේ දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම වෙනුවෙන් සලකා බැලිය යුතු තවත් ක්ෂේත්‍ර රාශියක් ගැන රජය අවධානය යොමුකළ යුතුව ඇති බව රහසක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් උපකාර ලබාගත හැකි විදේශීය පාර්ශ්වයන් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ඒ අතුරින් ප්‍රධාන වන බව හඳුනාගත හැකිය.

ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නිල වශයෙන් භාවිත කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීම පිළිබඳව සළකා බලමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි ඉන්දියාවේ මෑතකළ සංචාරය අතරතුර එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙවැනි පසුබිමකය.

“අපට අවශ්‍ය වන්නේ ඉන්දියානු මුදල් ශ්‍රී ලංකාව තුළ වෙළඳාම් කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීමයි. එසේම ඉන්දියානුවන්ට මෙහි පැමිණ එය භාවිත කිරීමේ හැකියාව ලබාදීමයි. එමගින් ශ්‍රී ලාංකිකයින්ට තුන්වන මුදල් වර්ග මත යැපීමෙන් තොරව එය භාවිතා කිරීමට ඉඩ සැලසෙනවා” යැයි ඇමතිවරයා සඳහන් කර ඇත.

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවක් නිර්මාණය වන පළමු අවස්ථාව මෙය නොවේ. එසේම දෙරට අතර ඉන්දීය මුදල් ඒකකය භාවිත සම්බන්ධයෙන් මේ වන විටත් යම් මුලික මට්ටමේ පදනමක් සකස්කර අවසන් බවද දැකගත හැකිය. එහෙත් රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් විසින් එම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන ලද පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගත් මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබුවේ 2022 අගෝස්තු මාසයේ දී ය. එහිදි විශේෂ නියෝගයක් නිකුත් කරමින් ඉන්දීය රුපියලට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය, පවුම් ස්ටර්ලින්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාත්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස මහ බැංකුව විසින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ඉල්ලා සිටි අතර, 2022 දෙසැම්බර් මාසයේ දී ඉන්දීය පාර්ශ්වය එම අනුමැතිය ලබාදී තිබිණි. එම අනුමැතිය සම්බන්ධයෙන් ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති ආකාරයට, දැන් ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් (ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14ක් පමණ) වටිනා ඉන්දියානු රුපියල්(INR) භෞතික ස්වරූපයෙන් (දෙසැම්බර් මාසයේ විනිමය අනුපාතිකයන්ට අනුව) සිය සන්තකයේ තබාගැනීමේ හැකියාව ද ඇත.

මෙහි ඇති වඩාත්ම විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉන්දියානු රුපියල් වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකිවීමයි. මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ බැංකුවක ‘වොස්ට්‍රෝ’ (INR vostro) නම් ගිණුම් විශේෂයක් විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.

ඉන්දීය සංචිත බැංකුව විසින් මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබාදී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල් ඉදිරියේදී ඉන්දියාව සමග සිදුකරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවය.

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතය සම්බන්ධයෙන් සළකා බලන විට, එය දැන් සිදුවීමට යන්නේ පළමු අවස්ථාට නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වාදෙයි. ‘සිලෝන් වයර්’ සමග අදහස් දක්වමින් මහාචාර්ය දුනුසිංහ මෙසේ ඒ පිළිබඳව පැහැදිලි කළේය.

“එක්දාස් නවසිය පනහට කළින් ඉන්දියානු රුපියල් ලංකාවේ භාවිත කරන්න අවසර තිබිලා තියෙනවා. එවකට තිබුණු මුදල් මණ්ඩලය හරහා ඉන්දියානු රුපියල භාවිත කරලා තියෙනවා. ලංකාවේ වෙතරක් නෙමෙයි, සමහර අප්‍රිකානු සහ මැදපෙරදිග රටවලත් විදේශ රටවල් සමග සිසුකරන ගනුදෙනුවලදී ඉන්දියානු රුපියල බහුලව භාවිත කරලා තියෙනවා. එක්දාස් නවසිය පනහෙන් පස්සේ මහ බැංකු පිහිටුවීමත් සමග ඒ භාවිතය ක්‍රමානුකුලව ඉවත්වෙලා ගිහින් තියෙනවා.”

ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන පහත් හයත් අතර වටිනාකමකින් යුතු භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කරන බව මහාචාර්ය දුනුසිංහ සඳහන් කරයි. ඉන්දියාවට භාණ්ඩ අපනයනය කරනු ලබන්නේ ඩොලර් බිලියනයක පමණ වටිනාකමකිනි. ඒ අනුව ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් භාවිතයට ගැනීම ඔස්සේ කිහිප ආකාරයකින් වාසි ලබාගත හැකි බව මහාචාර්ය දුනුසිංහ පෙන්වාදෙයි.

“ශ්‍රී ලංකාවට පවතින ගැටලුව ඩොලර් හිඟයනේ. එතැනදී ඩොලර්වලට විශාල ඉල්ලුමක් ඇති නොවන ආකාරයෙන් මේ වෙළඳාම පවත්වාගෙන යන්න මෙමගින් හැකියාව ලැබෙනවා. ඉන්දියානු සංචාරකයෝ එනකොට ඉන්දියානු රුපියල් එනවා. ඉන්දියානු ආයෝජන එනකොට එතනින් ඉන්දියානු රුපියල් එනවා. ඒ නිසා කෙටිකාලීනව ඩොලරය සම්බන්ධ ගැටළු මගහරවා ගැනීමට මේක හොඳ ක්‍රමයක්. ශ්‍රී ලංකාවේ දැනටමත් අවිධිමත් ක්‍රම ඔස්සේ විශාල ආනයන ප්‍රමාණයක් වෙනවා. එම තත්ත්වයත් මෙතැනදී විධිමත් කරන්න පුළුවන්. ලංකා බැංකුවේ චෙන්නායි ශාඛාවේ දැනටමත් ඒ වෙනුවෙන් වොස්ට්‍රෝ නම් ගිණුම් ආරම්භ කිරීමට පහසුකම් සලසලා තියෙනවා. ඒ ගිණුම් හරහා තමයි ගනුදෙනු වෙන්නේ.”

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් භාවිත කිරීමේ දෙවැනි වාසිය ලෙස මහාචාර්ය දුනුසිංහ පෙන්වාදෙන්නේ දෙපාර්ශවය අතර ගනුදෙනු පිරිවැය යම් පමණකට පහත දමාගැනීමට හැකියාව ලැබීමයි.

“අපි ඉන්දියාවෙන් භාණ්ඩ ගේනකොට අපේ රුපියල් ඩොලර්වලට පරිවර්තනය කරලා, ඩොලර් තමයි යවන්න ඕනේ. ඉන්දියානු පාර්ශ්වයත් තමන්ට ලැබෙන ඩොලර් ඉන්දියානු රුපියල්වලට පරිවර්තනය කරලා තමයි භාවිතා කරන්න ඕනේ. මෙතැනදී සෘජුවම ලංකා රුපියල් ඉන්දියානු රුපියල්වලට පරිවර්තනය වීම තමයි වෙන්නේ. එතකොට අතරමැද මෙතෙක් අවශ්‍ය වූ ගනුදෙනු පිරිවැයේ පහළ යෑමක් සිදුවෙනවා. අපි මුළු ආනයනවලින් සියයට විසිපහක් විතර ඉන්දියාවෙන් ආනයනය කරනවනේ. එතැනදී යම් මට්ටමකට මිල සහ ගනුදෙනු පිරිවැය පහළ යන්න හේතුවක් වෙනවා.”

ඒ අනුව ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල විදේශ විනිමය ඒකකයක් ලෙස භාවිතයට ගැනීමේ මෙම යෝජනාව, ආරම්භයේදී කී, ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් උපකාර ලබාගත හැකි විදේශීය පාර්ශ්වයන් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් වන වඩාත් ඉදිරිගාමී පියවරක් ලෙස හඳුන්වාදිය හැකිය. විශේෂයෙන් ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණදෙන විශාල ඩොලර් හිඟයට ඉන්දීය රුපියල යනු ‘අනාගතය දකින විකල්පයක්’ ලෙස හඳුනාගත හැකිය.