May 5, 2026

මැදපෙරදිග යුද්ධය යළි ඇවිලවීමේ අවදානමක් මතු කරමින් එල්ල වූ ප්‍රහාර මාලාවකින් පසුව, හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය තවදුරටත් උග්‍ර නොකරන ලෙස ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා මෙන්ම එරට ප්‍රභල දේශපාලඟයෙකු මෙන්ම සාම සාකච්ඡාවලට සහභාගී වන බලවතෙකු වන මොහොමඩ් බගර් ගලිබාෆ් එක්සත් ජනපදයට අනතුරු ඇඟවීය.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින ගැටුම තම රට තවමත් ආරම්භ කර පවා නොමැති බවයි.

“පවතින තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම ඇමරිකාවට දරාගත නොහැකි බව අපි හොඳින්ම දන්නවා; නමුත් අපි තවම ආරම්භ කළා විතරයි,” යනුවෙන් මොහොමඩ් බගර් ගලිබාෆ් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ද වන ගලිබාෆ් පැවසුවේ, එක්සත් ජනපදයේ සහ එහි මිත්‍ර රටවල ක්‍රියාකලාපය නාවික ගමනාගමන ආරක්ෂාව අනතුරේ හෙළා ඇති නමුත් ඔවුන්ගේ අයහපත් පැවැත්ම ක්‍රමයෙන් නැති වී යනු ඇති බවයි.

නිරන්තරයෙන් ගැටුම් පවතින මෙම මුහුදු මාර්ගයේ පාලනය නතු කර ගැනීම සඳහා දෙපාර්ශවයම මුහුදු මාර්ග අවහිර කරමින් වෙඩි හුවමාරු කර ගැනීමට පෙර, මධ්‍යස්ථ රටවලට අයත් නෞකා පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටතට ආරක්ෂිතව මෙහෙයවීමේ සැලසුමක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඉරානය මෙම නවතම අනතුරු ඇඟවීම සිදු කළේය.

මෙම සමුද්‍ර සන්ධිය ලෝක තෙල් සැපයුම, පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉතා වැදගත් මාර්ගයකි.

පෙබරවාරි 28 වැනිදා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට මෙය ප්‍රායෝගිකව වසා දමා ඇති අතර, ඒ හේතුවෙන් ලොව පුරා භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත.