May 23, 2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය අද පැවැත්වෙයි. චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 28 වනදා අහමදාබාද් හි පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

තරගාවලියේ මුලික වටයේ තරග 14කට මුහුණදී, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉන් තරග 10ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණ සිටී. එහි දෙවන ස්ථානය හිමිකරගෙන සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, තරග 14කට මුහුණදී ඉන් ජයගෙන ඇත්තේ තරග 08ක් පමණකි.

ඒ අනුව කණ්ඩායම් දෙක සංසන්දනය කිරීමේදි ටයිටන්ස් කණ්ඩායමේ පිතිකරණ අංශය සහා චෙන්නායි කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය තරගාවලියේ ඔවුන්ගේ ජයග්‍රහණයන් සදහා වැඩි දායකත්වයක් ලබාදී ඇත.

චෙන්නායි පිල නියෝජනය කරන ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ, ඔවුන්ගේ දක්ෂතා තවදුරටත් මෙවර අයි.පි.එල්. තරගාවලියේ දි ඔපමට්ටම් කරගැනීම කැපීපෙනෙන සිදුවීමක් විය.

මතීෂ පතිරණ 2023 අයි.පි.එල්. තරගාවලියේ තරග 10කට සහභාගි වී කඩුලු 15ක් බිඳහෙළීමට සමත්ව සිටියි. මහීෂ් තීක්ෂණ තරග 11ක් නියෝජනය කරමින් චෙන්නායි පිල වෙනුවෙන් ලබාගෙන ඇති කඩුලු සඛ්‍යාව 09කි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පන්දු බලඇනියේ ප්‍රමුඛයා බවට පත්ව සිටින රෂිඩ් ඛාන් මෙවර අයි.පි.එල්. තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මොහොමඩ් සමී හා සම තැන පසුවන්නේ කඩුලු 24ක් ලබාගනිමිනි.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණේ, රෝයල් චැලෙන්ජ්ස් බැංගලෝර් කණ්ඩායමේ ෆෆ් ඩුප්ලෙසිස් පසුවෙයි. ඔහු තරග 14කදි ලකුණු 730ක් රැස් කරගෙන ඇත්තේ පිතිකරණ සාමාන්‍යය 56.15ක් තබාගනිමිනි.

අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය⁣ට අද ක්‍රීඩා කරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සුබ්මන් ගිල් තරග 14කදී ලකුණු 680ක් ලබාගනිමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසුවෙයි.