September 24, 2026

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජනා ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවයෙන් ඉවත්වීමට හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න නායකත්වය දෙන “ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ නිදහස් ක්‍රියාකාරී මධ්‍යස්ථානය” තීරණය කර තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ නිදහස් ක්‍රියාකාරී මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, තමන් ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් අඛණ්ඩව පෙනීසිටි බවයි.

එම අරමුණු පෙරදැරිව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් එක්සත් මහජන විරෝධතාවයක් සංවිධානය කිරීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා වෙන්කර තිබූ බව එම නිවේදනයේ දක්වා ඇත.

එහි ප්‍රධාන අරමුණ වූයේ යම් කිසි විශේෂිත දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක පටු දේශපාලන වාසිවලින් ඔබ්බට යමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සහ ආයතනික ස්වාධීනත්වයට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව පුළුල්, සාමකාමී සහ බලගතු මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේවෙතත්, සැලසුම් කළ විරෝධතාවට අදාළව පසුව මතුවූ විවිධ මත, ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් හේතුවෙන් සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් මුලින් අපේක්ෂා කළ පුළුල් හා එක්සත් මහජන ව්‍යාපාරය ඉදිරියට ගෙනයෑමට අභියෝග මතුවූ බව එම සංවිධානය පවසයි.

ඒ අනුව, හෙට පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වැඩසටහනෙන් සිය නිල සහභාගීත්වය ඉවත්කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ නිදහස් ක්‍රියාකාරී මධ්‍යස්ථානය තීරණය කර තිබේ.